26 July 2024
#දේශීය

උපාධිධාරින්ට ආණ්ඩුවේ රස්සා දෙන්නේ කවද්ද? ජවිපේ බිමල් අගමැතිගෙන් විමසයි

උපාධිධාරීන් 50,000 කට මාර්තු 01 වනදාට පෙර රැකියා දෙන බව පැවසුව ද එම රැකියා ලබා දෙන්නේ කවදාද, ඒ වෙනුවෙන් අනුගමනය කරනු ලබන ක්‍රියා මාර්ග මොනවාද, යන්න පිළිබඳ ව දිස්ත්‍රික් ලේකම්වරුන් හෝ වගකිව යුතු වෙනත් රාජ්‍ය නිලධාරීන් හා උපාධිධාරීන් මේ වන තෙක් දැනුවත් කර නොමැති බව ජනති විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

ඒ මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර සිටින්නේ බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුව විසින් මෙම ක්‍රමවේදය සම්බන්ධයෙන් තමන් දැනුවත් කර ඇති බවයි. ඒ අනුව එම බාහිර උපාධි සුරැකිමේ සංවිධානය විසින් පවසා ඇත්තේ ග්‍රාම නිලධාරියා මගීන් අයදුම්පත සහතික කර ගැනීමේදී විවිධ ගැටළුවලට මුහුණ පෑමට සිදු වු බවයි.

එම ගැටළු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා යොමු කල සම්පුර්ණ ලිපිය පහත පරිදි වේ.

 

බිමල් රත්නායක,
පාර්ලිමේන්තු මන්ත්‍රී,
අංක 464/20,

පැලවත්ත,
බත්තරමුල්ල
ගරු අග්‍රාමාත්‍ය,
මහින්ද රාජපක්ෂ,
අරලිය ගහ මන්දිරය,
කොළඹ 01.

 

ගරු අග්‍රාමාත්‍ය තුමනි,

බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුව විසින් මා වෙත ඉදිරිපත් කළ උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධව මතුවී ඇති ගැටලු පිළිබඳව දැනුවත් කිරීම.

උපාධිධාරීන් 50,000ට රැකියා ලබාදීමට ආණ්ඩුව ගෙන ඇති ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූ කිහිපයක් පිළිබඳව බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුව විසින් අපව දැනුවත් කර ඇත. වගකිව යුතු සංවිධානයක් වශයෙන් අප සමග සාකච්ඡා කිරීමේ දී මතු කළ ගැටලු සම්බන්ධව ඔබතුමන්ව දැනුවත් කිරීමටත් ඒ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය මතුව තිබේ. එම සංවිධානය විසින් මතු කළ ගැටලු ලෙස,

01. රාජ්‍ය ආයතන, පළාත් රාජ්‍ය ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන, රේඛීය අමාත්‍යාංශය විසින් පාලනය වන ආයතනවල සේවයේ නියුතු උපාධියට සුදුසු රැකියාවක් නොකරන ඌන සේවා නියුක්ත උපාධිධාරීන්ට මෙම රැකියා අවස්ථාව සඳහා අයදුම් කිරීමේ අවස්ථාව අහිමි කර තිබීම. (රැකියාවක් නොකරන බවට ග්‍රාම නිලධාරි සහතිකය ඉල්ලා සිටින බැවින්)

02. 2012 වර්ෂයේ සිට උපාධිධාරීන්ට රැකියා ලබා දීමේදී රැකියා අවස්ථාව අහිමි වූ බාහිර උපාධිධාරීන්ට මේ වන විට රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ අවම කාල සීමාව (අලුතින් සංශෝධනය කරන ලද වයස් සීමාව ද) ඉක්මවා ගොස් ඇත. දීර්ඝ කාලයක් බාහිර උපාධිධාරියෙක් වීම නිසා රැකියා අවස්ථාව අහිමි වීමෙන් ඔවුන්ගේ වයස් සීමාව ඉක්මවා ගොස් ඇති බැවින් මෙවර ද ඔවුන්ට රාජ්‍ය සේවයට ඇතුළත් වීමට ඇති අවස්ථාව අහිමි වී ඇත.

03. ග්‍රාම සේවා නිලධාරීන්ට නිසි අවබෝධයක් නොමැති කමින් උපාධිධාරීන්ගේ රැකියා අයදුම් පත්‍රය සහතික කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් විවිධ දිස්ත්‍රික්ක වලින් ගැටලු මතු වී තිබීම.

04. උපාධිධාරීන් 50,000 කට රැකියා ලබා දීමේ දිනය ලෙස ආණ්ඩුව සඳහන් කර ඇත්තේ මාර්තු පළවෙනිදා ට පෙර රැකියා ලබා දෙන බව යි නමුත් මේ වන විට එම රැකියා ලබා දෙන්නේ කවදාද, ඒ වෙනුවෙන් අනුගමනය කරනු ලබන ක්‍රියා මාර්ග මොනවාද, යන්න පිළිබඳ ව දිස්ත්‍රික් ලේකම්වරුන් හෝ වගකිව යුතු වෙනත් රාජ්‍ය නිලධාරීන් හා උපාධිධාරීන් මේ වන තෙක් දැනුවත් කර නොතිබීම.

ඉහත ගැටළුකාරී ස්වභාවයන් උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් මතුව තිබේ. මෙම ගැටළු වලින් 01වන හා 02වන ගැටලු මීට පෙර උපාධිධාරීන්ට රැකියා ලබා දීමේදී ද මතුව තිබේ.
එහිදී එම ගැටළු වල තිබූ මානුෂීය ස්වභාවය සැලකිල්ලට ගෙන 2005 හා 2012 වර්ෂ වලදී කැබිනට් පත්‍රිකා මගින් වයස් සීමාව නොසලකා රැකියා අවස්ථාව ලබාදෙන ලෙසත් ඌන සේවා නියුක්ත සියලු උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබාගැනීමට අවස්ථාව උදා කරදී තිබිණි.

මේ වන තෙක් උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ ජාතික ප්‍රතිපත්තියක් හා ක්‍රමවේදයක් නොමැති කමින් මෙම සියලුම උපාධිධාරීන් ඉහත සඳහන් ගැටලු වලට මුහුණදී සිටී. මේ පිළිබඳව ආණ්ඩුවේ විශේෂ අවධානය යොමු කර උපාධිධාරීන් 50000 රැකියා ලබාදීමේ ජාතික වැඩපිළිවෙළේදී කිසිදු උපාධිධාරියෙකුට අසාධාරණයක් නොවන ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍යය.

ඉහත ගැටලු සම්බන්ධයෙන් ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කර කඩිනම් පිළිතුරක් ලබා දීමට කටයුතු කරන මෙන් සියලුම උපාධිධාරීන් වෙනුවෙන් කාරුණිකව ඉල්ලා සිටීමට කැමැත්තෙමි.

ස්තූතියි

මෙයට,

පාර්ලිමේන්තු මන්ත්‍රී,
බිමල් රතරත්නායක
2020.02.17

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *