27 July 2024
#සංවර්ධන

පරිසරය විනාශ කරන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ – ජනපති

බලය සහ ධනය මෙහෙයවන තනතුරු ගණනාවක් පසෙක තබා තමා පරිසර අමාත්‍යාංශය තෝරා ගත්තේ මිනිසා ප‍්‍රමුඛ සියලු සත්වයින්ට ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරුන් ජනාධිපති ධුරයට පත් වූ වහාම මුදල් අමාත්‍යාංශය තමා යටතට පවරා ගත්ත ද තමා එසේ නොකර, ජනාධිපති ධුරයේ අසීමිත බලතල ද පාර්ලිමේන්තුවට පවරාදීමට කටයුතු කළ බව සිහිපත් කළ ජනාධිපතිවරයා හෙට උපදින මතු පරපුර වෙනුවෙන් පරිසරය රැක ගැනීමේ වගකීම ඉටුකිරීම සඳහා පරිසර අමාත්‍යාංශය තමා යටතට පවරාගත් බව ද කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (05) පෙරවරුවේ මන්නාරම නගර සභා කි‍්‍රඩාංගණයේ පැවති ජාතික පරිසර සමුළුව අමතමිනි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පරිසර විනාශය අද මිනිසාගේ පැවැත්මට බරපතළ තර්ජනයක් වී ඇති බවත් මිනිසා, සතා සීපාවා ඇතුළු සියලු සත්වයන්ගේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් පරිසරය රැක ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් වී ඇති බවත් ය.

මිනිසාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන පරිසරය දරුවෙකු සේ රැක ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා පරිසරය විනාශ කර දැමීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බව ද අවධාරණය කළේය.

යම් දිස්ති‍්‍රක්කයක සිදුවන පරිසර විනාශය පිළිබඳ එම දිස්ති‍්‍රක්කයේ සියලු රාජ්‍ය නිලධාරින් වගකිවයුතු බව ද මෙහි දී අවධාරණය කළ ජනාධිපතිවරයා නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී යම් දේශපාලන බලපෑමක් සිදුවන්නේ නම් තමා දැනුවත් කරන ලෙස ද එම සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ ය.

පරිසරය රැක ගැනීම වෙනුවෙන් වූ සියලු ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන්ට අද ශ‍්‍රී ලංකාව අනුගතව සිටින අතර, පරිසරය රැක ගැනීමේ දී ප‍්‍රමුඛ වූ තිරසර සංවර්ධන අරමුණු ජය ගැනීම වෙනුවෙන් ද සුවිශේෂී වැඩකොටසක් ඉටුකරමින් සිටින බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

සෑම දිස්ති‍්‍රක්කයක්ම ආවරණය කරමින් මෙවන් පරිසර සමුළු පවත්වන්නේ දිස්ති‍්‍රක්ක මට්ටමින් පවතින පරිසර ගැටලු විසඳාගැනීමට බව ද සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සියලුදෙනා කි‍්‍රයාකාරීව තම වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාව වැඩිදුරටත් අවධාරණය කළේ ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *