27 April 2024
#දේශීය

රටම කැළඹූ රුපියල වාසියට හරවා ගන්න – ඇමති චම්පික කියයි

රුපියල අත්‍යන්තයෙන් එන බාල්දු වීම සමහර පැතිවලින් අපට භයානක විදිහට බලපානවා කියන කාරණයක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගිරිඋල්ල බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීමේ හා බස්නැවතුම්පොල සංවර්ධනය කිරීමේ කටයුත්තේ වැඩ ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.

” උපායමාර්ගිකව ක‍්‍රියාකර රුපියලේ අවාසිය ආර්ථික වාසියක් කරගමු” රටම කැළඹූ රුපියල අවප‍්‍රමාණය හා ආර්ථිකය ගැන ඇමති චම්පිකගෙන් කියවීමකි. අමාත්‍යවරයා අදහස් දැක්වීම මෙසේ විය.

මේ දවස්වල බහුතරයක් කතා වෙන දෙයක් තමයි අපේ රුපියලේ බාල්දු වීම. රටට ණය ගෙවාගන්න බැරිවෙලා, රටේ පාලනය ආසාර්ථකයි වගේ කාරණාවලූත් ඔය අතරේ කියවෙනවා. ඒ වගේම තවත් සමහරු කියනවා අපට පාලනය භාර දෙන්න රුපියල නවත්වන්න ආදි වශයෙන්. මේ රුපියල බාල්දු වීම කියන කාරණය ගත්තාම අපේ ගම්වල ඇත්තන්ට ඒ ගැන එතරම් තේරුමක් නැහැ. ඒ නිසා වර්තමාන තත්ත්වය ගැන සරළව ජනතාවට පැහැදිලි කරන්න කැමතියි. යම් රටකට ධනවත් වෙන්න, බලවත් වෙන්න ඕනෑ නම්, ඒ රට වෙළඳාම් කරන්න ඕනේ. වෙළඳාම් කිව්වාම නිකන් රට ඇතුළේ ජනතාව අතර පමණක් වෙළඳාම් කරලා හරියන්නේ නැහැ. විදේශ රටවල් එක්කත් වෙළඳාම් කරන්න ඕනේ. එහෙම විදේශ රටවල් එක්ක වෙළඳාම් කරනකොට, ඒ වෙළඳාම් කරන්න වෙන්නේ විදේශ මුදල් ඒකක වර්ග එක්ක. ඉතින් ලෝකයේ බැංකු ගත්තාම ගණුදෙනු විශාල ප‍්‍රමාණයක් සිද්ධ වෙන්නේ ඇමරිකානු ඩොලර් කියන මුදල් ඒකකයෙන්. මේ නිසා ඩොලර් එකට ලංකාවේ අපේ රුපියලේ තිබෙන බැඳීමත් ඉතාම බරපතලයි.

 

සුද්දන්ගෙන් අපේ රටට නිදහස ලැබුණු කාලේ නම් අපිට අපි තේ, පොල් රබර් වගේ දේවල් මගින් සුද්දා හදා තිබුණු අපනයන ආර්ථිකය තිබිච්ච නිසා රුපියලට ප‍්‍රශ්නයක් උනේ නැහැ. ඩොලරයකට 1948 අපි ගෙව්වේ රුපියල් 7.36 යි. ඒක වෙනස් නොවීම අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් උනා. මොකද ඒ කාලයට සාපේක්ෂව අපිට හොඳ අපනයන ආදායමක් තිබුණ නිසා. ඩඞ්ලි සේනානායක මහත්මයාගේ යුගයේ ඒ කියන්නේ 1966 ප‍්‍රශ්නයක් ආවා අපේ රුපියලට. එතකොට එතුමා විසඳුමක් ගෙනාවා ඒක තමයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ඩොලරයකට එක ගණනකුත්, අනෙකුත් කාරණා සඳහා ඩොලරයට තව ගාණකුත් ගෙවන්න ක‍්‍රමවේදයක් ගෙනාවා. මේක මහා මංකොල්ලයක් බවටත් පසුව පත් උනා. කෙසේ වෙතත් ජයවර්ධන ජනාධිපතිතුමා 1977 පළවෙනි අයවැයෙන්ම මේ ආකාර දෙකකට ඩොලරයට රුපියල් ගෙවපු එක වෙනස් කර රුපියල පාවෙන්න ඇරියා. එක රැයින් රුපියල් 8 තිබූ ඩොලරය රුපියල් 16 ට ගියා. 100%කින් රුපියල අවප‍්‍රමාණය උනා. ඔය විදිහට විවිධ රජයන් පත් වෙමින්, රට පාලනය කරමින් ඇවිත් 1977 දී රුපියල් 8ක් වූ ඩොලරය අද රුපියල් 170ක් වෙනතුරු ඇවිත් තිබෙනවා. මේක දිහා හුඟාක් දෙනෙක් බලන්නේ එක පැත්තකින් විතරයි. මේක විශාල කම්පනයක් පමණක් හැටියටම පමණක් දකින්නේ නැතිව අපි මේකේ අනික් පැත්තත් බලන්න ඕනේ. මොකද ඒ වගේම අපේ ආදායමත් ඒ එක්කම වැඩිවී තිබෙනවා. රටේ දළ දේශීය නිෂ්පාදනයත් වැඩිවෙලා තිබෙනවා. රටේ අපනයනත් වැඩිවෙලා තිබෙනවා.

 

එහෙනම් අපේ මේ රුපියල ඩොලරයට යාවෙන්න මොකක්ද වෙන්න ඕනේ? ඒකට කරුණු කිහිපයක් තිබෙනවා. ඉන් එකක් තමයි ආනයන සහ අපනයන කියන්නේ. සමහර දේවල් තියෙනවා අපිට අනිවාර්යයෙන්ම පිටරටින් ගේන්න වෙන දේවල්. ඒ කියන්නේ පිටරටින් ‘ආනයනය’ කරන්නම වෙන දේවල්. උදාහරණ කිහිපයක් ගත්තොත්, අපට ලංකාවට අත්‍යාවශ්‍ය ඛණිජ තෙල් ගෙන්වන්න වෙන්නේ පිටරටින්, ලංකාවේ නිෂ්පාදනය නොකරන අත්‍යාවශ්‍ය ඖෂධත් ගෙන්වන්න වෙන්නේ පිටරටින්, කෘෂිකාර්මික කටයුතු සඳහා පොහොරත් ගෙන්වන්නේ පිටරටින් ඒ විතරක් නොවෙයි අපේ රටේ මෝටර් රථවාහන සෑදීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒවාත් ගෙන්වන්නේ පිටරටින්. වාහන ගත්තාම ඒවාට ඕනෑ කරන අමතර කොටස් ටික පවා ලංකාවේ හදන්නේ නැති නිසා අත්‍යාවශ්‍ය කාරණා වෙන ඒවා සියල්ලම අනිවාර්යෙන්ම පිටරටට මුදල් යවමින් ගෙන්වන්නම වෙනවා.

 

මේ ළඟදි මුදල් අමාත්‍යාංශයේ දැන්වීමක් දාල තියෙනවා. කවුද ඇපල් ගෙඩියක් කන එකක් දාලා ‘ආර්ථිකය විවෘත කරලා අවුරුදු 40 යි. අපි ඇපල් කෑවා කියලා’ ඒක එක අතකට ඇත්ත. මොකද අපි පොඩි කාලේ අපට ඇපල් කන්න තිබුණේ නැති බව ඇත්තක්. 1977 ආර්ථිකය විවෘත කළහම තමයි ඇපල් මුද්දරස්පලම් එහෙමත් කන්න ලැබුණේ. නමුත් දැන් හන්දියක්, හන්දියක් ගානේ, වෙලක් වෙලක් ගානේල සිය දහස් ගණනින් ඩොලර් ගෙවමින් මේ පිටරටින් ගෙන්වන ඇපල්, මුද්දරස්පලම්, දොඩම් ආදී ඒවා විකූණනවා. ඒ විතරක් නෙවෙයි ඒවා අති විශාල ගණනක් අපතේ යෑමකුත් සිදුවෙනවා. මේ අපතේ යන්නේ ඩොලර්. මේ අපතේ යන ඩොලර්වලින්, අපට හෘදයාබාධවලට, පිළිකාවලට වගේ රෝගවලට අත්‍යාවශ්‍ය, අපි රට තුළ හදාගන්නේ නැති ඖෂධ ගේන්න පුළුවන් නේද? ඇයි මේ ඩොලර් ඇපල්, මුද්දරප්පලම් කරලා කුණුගොඩවල්වලට ඇදලා දාලා නැතිකරන්නේ මිත‍්‍රවරුණි. අපි මේවා ගැනත් විචාරශීලීව හිතන්න ඕනේ කාලේ ඇවිල්ල තියෙනවා.

 

ඒ නිසා මේ රුපියල ගැන කතා කරනකොට පේන දෙයක් තමයි, ලංකාවේ අපි පිටරටට යවන දේවල් මගින් ලබන ආදායමට ඒ කියන්නේ ‘අපනයන ආදායමට’ වඩා දෙගුණයක් විතර පිටරටින් නැව් සහ ගුවන් යානා වලින් රට තුළට ගේන භාණ්ඩවලට යන වියදම වැඩියි කියන එක. ඒ කියන්නේ ‘ආනයන වියදම’ වැඩියි අපේ ‘අපනයන වියදමට වඩා’. අපි රටක් ජාතියක් හැටියට පිටරටට බඩු යවනවාට වඩා අපි පිටරටින් ගෙන්වන එක වැඩිවෙලා තිබෙනවා. ඒ වගේම කණගාටුවෙන් කියන්න ඕනේ අද වනවිට අපේ රටේ වැදගත් අපනයන 4 යි තිබෙන්නේ. ඒ තමයි තේ, පොල්, රබර් සහ ඇඟලූම්. ඔය 4න් පිට කිසිම වෙනසක් පසුගිය දශක තුනක පමණ කාලය තුළ අපි කරගෙනත් නැහැ. අන්න ඒ වන්දිය තමයි අපි අද මේ ගෙවන්නේ. වෙන හැම රටක්ම අලූත් අපනයන්වලට යොමුවෙලා, නවෝත්පාදනයන්වලට ගිහින් තිබෙනවා. වෙනත් රටවල් ශක්තිමත් අපනයන මාර්ග සොයගෙන ගිහින් තිබෙනවා. නමුත් අපි අවුරුදු 30 ක් අපේ අපනයනයේ කිසි වෙනසක් සිද්ද කරලා නැහැ. ඒ වුනාට අපේ ආනයන වියදම් ඇතිවෙන්න වැඩිකරගෙන තිබෙනවා. අද වෙනකොට හැමදේම පිටරටින් ගේන තැනකට අපි ගමන් කරලා තිබෙනවා. සමහරු මේක තමයි ‘නිදහස් වෙළඳ ප‍්‍රතිපත්තිය’ කියලා කියන නමුත් රුපියලක් අපනයනයන්ගෙන් උපයලා, රුපියල් දෙකක දේවල් ආනයනය කරනවා නම් එතන රටට වාසිදායක නිදහස් වෙළඳාමක් වෙන්නේ නැහැ.

 

අද ඇමරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඞ් ජෝන් ට‍්‍රම්ප් ජනාධිපතිවරයා මොකද කියන්නේ. එතුමා කියන්නේ අපේ ඇමරිකාව තුළට වැඩියෙන් බඩු ගේනවා පිටරටවලින් ඒ නිසා මම ඒවාට ක‍්‍රියාත්මක වෙනවා මොකද මම දේශප්‍රේමියෙක් කියලා. ඔහු මේ පසුගියදා එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා මොකද්ද කිව්වේ, ගෝලීයකරණය කියන එකට මම විරුද්ධයි. මම දේශප්‍රේමියෙක්. මේ ලොකේ ඉන්න අනෙක් නායකයොත් දේශප්‍රේමී වෙන්න ඕනේ මුලින්ම. පසුව ජාත්‍යන්තරය ගැන කතාකරන්න පුළුවන් කියන කාරණයයිි ඔහු කිව්වේ. ඔහු තවදුරටත් කිව්වේ, ඔය විශේෂඥයො ගැන මම හිතන්නේ නැහැ. මම හිතන්නේ ඇමරිකානු ජනතාව ගැන කියලයි. ඔහු අද සියළුම රටවල්වලට බලපාන ආකාරයට බදු පනවලා තිබෙනවා ඔවුන්ගේ ආර්ථිකය රැකගන්න. ඇමරිකාවේ ආර්ථිකය අද ඉතාම ශක්තිමත් වෙලා තිබෙනවා. ට‍්‍රම්ප් ගැන කවුරු මොනවා කිව්වත් ඔහු තමන්ගේ රටේ ආර්ථිකය දේශමාමකව ශක්තිමත් කරගෙන තිබෙනවා.

 

ඉතින් ට‍්‍රම්ප්ගේ ඒ ක‍්‍රියාවලිය ලෝකේ අනෙක් රටවල්වලට වගේම අපටත් බලපාල තිබෙනවා. එක පැත්තකින් මේ ආනයන-අපනයන ක‍්‍රියාවලියටත්, අනෙක් පැත්තෙන් සේවා සැපයීම්වලටත්. මොනවද අපේ සේවා සැපයීම්, උදාහරණයක් විදිහට අපේ අපේ කාන්තාවෝ ටික පිටරට යනවා. ඔවුන් ගිහින් වැඩ කරලා එහෙන් එවනවා රටට ඩොලර් බිලියන 7 ක්. මිත‍්‍රවරුණි අපි ඒ අයට පිං දෙන්න ඕනේ. මොකද මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුණු අපේ සමහර ‘උගත්තු’ රට යනවා කියලා මොකද කරන්නේ? ලංකාවේ තිබෙන දේපල විකුණලා ඒ සල්ලි ටිකත් රටින් පිටකරගෙන ගිහින් පිටරටින් දේපල අර ගන්න එක. ඔවුන්ගෙන් ඇතැමෙක් තමන්ගේ දරුවන් පිටරට යවලා උගන්වනවා. නමුත් අපේ දුප්පත් කාන්තාවෝ ටික විතරයි අති බහුතරයක් පිටරට සල්ලි හම්බුකරලා ඒ මුදල් ටික ලංකාවට එවලා, ලංකාවෙන් දේපලක් අරන් තිබෙන්නේ. පෙර කියාපු අනෙක් ‘උගතුන්’ සියළු දෙනාම කරලා තිබෙන්නේ රටේ තිබෙන දේපල විකුණලා පිටරටින් දේපළ ගන්න එක. ඔවුන් ලංකාවේ දේපල රුපියල් කරගෙන ඒ ටික ඩොලර්වලට මාරු කරගෙන රටිනුත් පිටවෙලා යන්නම යනවා. ඔය අතරේ තමයි අපේ ගම්වල දුප්පත් කාන්තාවෝ ටික දරුපවුල් තනිකර විදෙස් ගතවෙලා දුක් කම්කටොළු දහසක් මැද ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න ඩොලර් බිලියන 7ක් එවන්නේ.

 

ඒ වගේම රටට ආදයමක් ලැබෙන සේවාවන් ගත්තාම සංචාරක ව්‍යාපාරය දක්වන්න පුලූවන්, ඒකත් දුවන්නේ අපේ ආදි රජවරු හදපු සීගිරියෙන්, පඬුවස්නුවරින්, දඹුල්ලෙන්, අනුරාධපුරයෙන්, පොලොන්නරුවෙන්. ඒ රජවරුන්ගේ දේවල් පෙන්වලා තමයි අද සංචාරක ව්‍යාපාරයත් දුවන්නේ. එම සංචාරක ව්‍යාපාරයයි විදේශ ගත ශ‍්‍රමිකයොනුයි නොඑන්න මේ රුපියල තවත් බාල්දු වෙනවා කෙසේ වෙතත් මස්තබාල්දුම වෙන්න ඉඩ තියෙනවා. මොකද රටක් හැටියට අපි ආදායම් උපයන්නේ සීමිත ක්ෂේත‍්‍ර ගණනාවකින් පමණක් නිසා. මොනවා වුනත් අද යන්තම් ඒ ආනයන අපනයන හිඟය පියවිලා තිබෙන්නේ ඔය කරුණු නිසයි. ඊළඟට ලංකාව විදේශ ණය අරන් තිබෙනවා.

 

මහින්ද රාජපක්ෂ මහත්මයා ළඟදි මාධ්‍ය සාකච්ඡුාවක් තියලා ආර්ථිකය ගැන කතා කරනවා දැක්කා, එතුමාගේ ආර්ථිකය ගැන හොඳට අපි ඒ කාලෙත් කරුණු පැහැදිලි කරලා දුන්නා. ඒවා පිළිගත්තේ නැහැ. එතුමා බලයට එනකොට ලංකාවේ අධි පොලී වාණිජ ණය 1% යි සමස්ථ ණය බරෙන් තිබුණේ. මොකද ඒ දක්වා ලංකාව ණය ගත්තේ සහන පොලී මත නිසා. නමුත් රාජපක්ෂ මැතිතුමා 1% තිබුණු අධි පොලී වාණිජ ණය 52% දක්වා වැඩි කළා. අද ඒක නිසා ගණන් හැදුවාම අපේ රටේ පුද්ගලයෙකුටම රාජපක්ෂ මහත්මයා ගත්ත ණය ගෙවන්න වර්ෂයකට රුපියල් ලක්‍ෂයක් වැය වෙනවා කියන දේ කියන්න වෙනවා. ඉතින් එතුමා කොහොමද ආර්ථිකය හදන්නේ?

 

රාජපක්ෂ මහත්මයලා හදපු එකම රාජ්‍ය ආයතනයක්වත් නැහැ. හොඳම උදාහරණය එතුමාගේ සහෝදරයා ගෝඨභය රාජපක්ෂ අද රටේ ආර්ථිකය හදන්න කතා කරනවා. එතුමා භාර ගත්තා මිහින් ලංකා සහ ශ‍්‍රී ලංකන් එක. අද මොකක්ද ඒවායේ තත්වේ? එමිරේට්ස්ලා මිලියන 8000 ක ලාභ ලබන තැනට ගෙනාපු ශ‍්‍රී ලංකන් එක, ඒ වගේම හොඳට දුවන්න තිබුණු මිහින් ලංකා එක අරගෙන ගෝඨාභය මහත්මයලා, නිශාන්ත වික‍්‍රමසිංහලා අද ඒක කෙලවර කරලා තිබෙන්නේ බිලියන 200 ක් පාඩු කරලා. ඒ පාඩුවේ කෙළවරක් නැහැ. ආර්ථිකය හදන හැටි මෙහෙමයි කියා අද කතා කළාට ඔවුන් එහෙමයි එදා රාජ්‍යය හැසිරුවේ. මේ අයගේ ආර්ථික කලමනාකරණයේ තිබෙන දස්කම නිසා, හැම ලාංකිකයෙක්ටම ශ‍්‍රී ලංකන් එක නිසා විතරක් රුපියල් 10,000 ක් ණය ගෙවන්න වෙලා තිබෙනවා. මේ ගොල්ලෝ තමයි අද වීරයෝ වගේ ඇවිල්ලා වියත්මගවල් හදාගෙන කතා කරන්නේ රටවල් හදන්න. බැසිල්, ගෝඨභය මහින්ද හදාපු රාජ්‍ය ආයතන 3 ක් ගැනවත් අඩුම තරමින් පෙන්නන්න කියලා අපි කියනවා.

 

මම විදුලි බල මණ්ඩලය හය මාසෙන් හදලා පෙන්නුවා. ඉතින් මම එතුමාවත් ගෙනල්ල ආඩම්බරයෙන් අපේ අමාත්‍යාංශයේ රැස්වීමක් තියලා කිව්වා සර්, ඔන්න අපි අවුරුදු 15 කට පස්සේ ලංකා විදුලි බල මණ්ඩලය ලාභ කළා කියලා. බිලියන 155 ක ණය ගෙව්වයි කියලා. එතුමා මොකද යන ගමන් කළේ ලේක්හවුස් එකට දුරකතන ඇමතුමක් දීලා කිව්වා විදුලිබලය ලාභයි කියල එහෙම නිව්ස් ගහනව නෙමෙයි ඇමති පිම්බෙන්න කියලා. ඔන්න එහෙමයි එතුමා වැඩ කළේ. ඊට පස්සේ මට කරන්න තිබෙන හැම බාධාවක්ම සිදුකලා එම ආයතනය නිවැරදි විදිහට ගෙනයන්න ඉඩනොදී. ඔවුන් භාරගත්තු කිසි තැනක, රාජ්‍ය ආයතනයක් හදපු තැනක් නැහැ.

 

කෙසේ නමුත් ඔවුන්ට ඒ කාලේ පොඩි වාසනාවක් වැඩ කළා. ඒක තමයි 2008 ඇමරිකාවේ ඇතිවූ ආර්ථික අර්බුදයත් සමග ඇමරිකාවේ ධනපතියන්ට බැංකුවලින් 0 පොලියට නිකන් සල්ලි දෙන්න පටන් ගැනීම. මෙහෙම සත පහක පොලියක් අය කරන්නේ නැතිව මුදල් දුන්නා ඩොලර් ට්‍රිලියන ගණන්. මේ අවස්ථාව ප‍්‍රයෝජනයට ගත්තු ඇමරිකානුවො 0 පොලියට සල්ලි ණයට ගෙනල්ලා ඉන්දියාවේ, ලංකාවේ වගේ රටවල ආයෝජනය කළා. ඔවුන් ලංකාවේ විනිමය සුරැකුම්පත්වල ඒ මුදල් දැම්මා. මොකද ඇමරිකාවෙන් 0 පොලියට නිකන් ලැබුනු ඒ මුදල් මෙහේ ආයෝජනය කළාම ලංකාවෙ අපි ඒවාට ආකර්ෂණීය පොළී අනුපාතයක් ගෙවපු නිසා. ඒවා කබ්රල් මහත්මයාගේ හෝ ජයසුන්දර මහත්මයාගේවත්, ඉන්දියාවේ අයගේවත් හපන් කම් නෙමෙයි. අපේ රටේ විතරක් නෙමෙයි ඉන්දියාවේ ගත්තාම හැමතැනම ඒ මුදල් දැම්මා. අද මොකද වෙලා තිබෙන්නේ. අද ඇමරිකාවේ ආර්ථිකය සුවපත් වෙලා. අද ට‍්‍රම්ප් ආණ්ඩුව ඇමරිකාවේ පොලී අනුපාතිකය ඉහළ දමනවා. බින්දුවේ තිබිච්ච එක දැන් 2.5 වෙලා තියෙනවා. ලබන වසරේදී 3.5 වෙනවා. එතකොට මොකද වෙන්නේ අපේ විනිමය සුරැකුම්පත්වල තිබෙන සල්ලි අර සල්ලිකාරයෝ ටික ඇමරිකාවටම නැවත ගෙනයනවා. මොකද ඇමරිකාවේ 2.5 හෝ 3.5 ඒ පොළිය අපට වඩා ආකර්ෂණීය හා ශක්තිමත් එකක් නිසා. ඉතින් ඕක ආපහු කබ්රාල් මහත්තයයි ජයසුන්දරයි ආවා කියලා අයෙත් විසඳන්න හැකි දෙයක් නෙවෙයි. ලෝක ආර්ථිකයේ ප‍්‍රවණතාවයන් මත ඒ කාලේ වැඩකරපු වාසනාව දැන් ආයේ වැඩකරන්නේ නැහැ.

 

එහෙනම් අපි දැන් මොකද කරන්න ඕනේ. අපි පළමුව කල්පනා කළ යුතුයි මේ රුපියල අත්‍යන්තයෙන් එන බාල්දු වීම සමහර පැතිවලින් අපට භයානක විදිහට බලපානවා කියන කාරණය. අපේ රටේ තිබෙන විශාලතම ආයතනය වන තෙල් සංස්ථාව දින 100 වැඩසටහන යටතේ මම ලාභ කරලා පෙන්නුවා. මුලූ තෙල් සංස්ථාවම අපි කරකවලා හදලා දුන්නා. අපේ තෙල් සංස්ථාව ගත්තාම ඇතැම් අවස්ථාවල මිලට ගත්තු තෙල්වලට මුදල් ගෙවන්නේ හය මාසයකට පමණ පසුව. සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් බිලියන දෙකහාමාරක පමණ ණය මුදලක් එතැන ගොඩගැහෙනවා. එහෙම ඩොලර් බිලියන ගණනක තෙල් ණය ගෙවන්න තියෙද්දී ඒ ගෙවන්න තියෙන හැම ණය ඩොලරයක්ම රුපියල බාල්දුවීම නිසා ගණන් යනකොට, ඒ කියන්නේ 170 ඉඳලා 171 දක්වා රුපියලකින් රුපියල බාල්දු වෙනකොට තෙල් සංස්ථාවට කලින් හිතාගෙන හිටි ගාණට වඩා, ඒකට රුපියල් බිලියන 2.5 ක්, නැත්නම් මිලියන 2500 ක් වැඩිපුර ගෙවන්න වෙනවා. ඒ කියන්නේ තෙල් මිල ඉබේම වැඩිවෙනවා. එතකොට ඒ මුදල ගෙවන්න මදි සල්ලි ටික කොහෙන් හරි හොයාගන්න ඕනෑ. අවසානයේ ඒක පාරිභෝගිකයා මතට දමන්න සිදුවෙනවා. ඒ නිසා සමහර ආර්ථික විශේඥයො කියනවා වගේ රුපියල ඕනෑ ඕනෑ විදිහට බාල්දු කරන්න දෙන්න බැහැ. මේ වගේ කාරණා වලදී ඔය වෙළඳපොල ක‍්‍රමයෙන් මේ ප‍්‍රශ්න විසඳන්න බැහැ.

 

මේ වගේ වෙලාවල්වලට ලෝක ආර්ථිකයේ සුලි කුණාටුවලින් ගැලවිලා ඉන්නට පුලූවන් නිදහස් වෙළඳ ප‍්‍රතිපත්තියේම ඉන්න අයට නෙමෙයි. ට‍්‍රම්ප් දේශප්‍රේමි නම් අපිත් දේශප්‍රේමී වෙන්න ඕනේ. මොකද අපට එයාව හදන්න බැහැ. ඔහු තමයි ලෝකේ ලොකුම ආර්ථිකය හසුරුවන්නේ. මොන කාරණාව වුණත් ඒ ආර්ථිකය පසුපස තමයි අද ලෝකයම යැවෙන්නේ. අරහේ රුසියාවේ පුටින්, මෙහෙන් චීනයේ ෂී-ජින්පින්, ජපානයේ අබේ, අල්ලපු රටේ මොඩි ඔක්කොම දේශප්‍රේමියෝ. එක්කෙනෙක්වත් ගෝලීය වෙළඳාම ගැන කතාවක් නැහැ. ඒ හැමෝම තම තමන්ගේ රට ශක්තිමත් කර ගන්නයි බලන්නේ. එහෙම නම් අපි 40 අවුරුද්දක් විවෘත ආර්ථිකේ මෙහේ දැන් තිබුණා, එහෙමනම් අපි ඊළඟ 40ත් එහෙමම යනවා කියලා හිතන්න බැහැ. අපි දේශප්‍රේමී විය යුතුයි. ජාතික ආර්ථිකය ගලවා ගන්න කටයුතු කළ යුතුයි. ඒකට හොඳම දේ තමයි හැමදේම පිටරටින් ගේන එක නවත්වලා රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න කටයුතු කළ යුතුයි.

 

අද අපි පන්සලට ගිහින් පත්තු කරන හඳුන් කූර පවා ගේන්නේ චීනයෙන් හෝ ඉන්දියාවෙන්. හඳුන් කූර, ඉටිපන්දම අපට හදාගන්න බැරිද? ඒ වගේ මේ රට තුළ හදන්න පුළුවන් භාණ්ඩ 260 ක් තිබෙනවා. මේ ගෙවුම් ශේෂ ප‍්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳගන්න පුළුවන් ඔය භාණ්ඩ 260ම ලංකාවේ හැදුවොත් කණගාටුයි කියන්න අපේ මුදල් අමාත්‍යාංශයෙන් භාණ්ඩ 3600 ක එවැනි බදු අයින් කළා. ඒක තමයි ප‍්‍රතිපත්තියක් නැති කම. මේවා දැන් වෙනස් විය යුතුයි. රටේ දේශීය ආර්ථිකයේ මේ කුරුණෑගල කියන්නේ ආර්ථිකයේ ඕනම දෙයක් කරන්න පුළුවන් තැනක්. පොල්වතු විතරක් නෙමෙයි ඕනම ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් සශ‍්‍රීක බිමක් මේ හත්කෝරලේ කුරුණෑගල. අපට ඉතාම පහසුවෙන් මේ අර්බුධවලින් ගැලවෙන්න පුළුවන්.

 

පසුගියදා මට ග‍්‍රීසියේ ඇමති කෙනෙක් හමු වුණා. ග‍්‍රීසිය කියන්නේ හිඟමනට වැටිලා තිබුණු රටක්. මිනිස්සුන්ට අවුරුදු ගාණක් තිස්සෙ විශ‍්‍රාම වැටුප් පවා ගෙව්වේ නැහැ. පෙළපාලි පිට පෙළපාලි හැමදාම ග‍්‍රීසියේ. එතුමාගෙන් මම ඇහුවා දැන් කොහොමද රට කියලා. එතුමා කිව්වා දැන් අපේ රට හොඳයි. අපි සියළුම ආහාරවලින් ස්වයංපෝෂිතයි ණයත් ඔක්කොම වගේ ගෙවලා අපි බලවත් උනා කියලා ඔහු බොහොම ආඩම්බරයෙන් කිව්වා. මිත‍්‍රවරුණි, වසර 3 කට කලින් අන්ත කාලකන්නි භාවයකට පත්වී තිබූ ග‍්‍රීසිය කොහොමද ගොඩආවේ කියන දේ ගැන පුදුමයෙන් මම ඇහුවාම එතුමා කියපු දේ තමයි, අපි දේශප්‍රේමී උනා. රටේ බඩු අපි නිෂ්පාදනය කරන්න අපි තීරණය කළා. අපි යුරෝපා සංගමය පැත්තකට කරලා, අපි තීරණය කළා කෙලින් හිටගෙන රට ගොඩනගන්න ඕනෙයි කියලා. ඒ නිසා අවුරුදු 3 න් අපි රටේ ආර්ථිකය හදාගත්තා, කියන කාරණාවන් ටික.

 

පසුගියදා එක්සත් ජාතීන්ගේ සංගමයට යනකොට අපි ගියේ දෝහා වල කටාර් රාජ්‍යය හරහා. ඒ කටාර් රාජ්‍යයට සම්බාධක පැනෙව්වා අවට රාජ්‍යයන් ටික එකතු වෙලා. කටාර් රටට බොන්න වතුර ටික කිරි ටික ආහාර ටික එන එක නැවත්තුවා. නමුත් අද මොකද කටාර්වල තත්වය? අද කටාරය ස්වයංපෝෂිතයි. තමන් වවලා, තමන්ම කර්මාන්ත කරලා අද කටාරය ස්වයංපෝෂිත කරලා ඒ සම්බාධකවලට පිං සිද්ධ වෙන්න. අද කටාර් රාජ්‍යය දෙපයින් නැගිටලා තිබෙනවා. අපේ ජනාධිපතිතුමාට හමුවුණා ආසියාවේ සිටින ඉතාම ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ට දේශපාලනඥයෙක් වන මහතීර් මොහොමඞ් මැතිතුමා. 1997 දී මැලේසියාව කඩා වැටුනා. එතුමා මොකද කළේ, කාගෙවත් පස්සේ ගියේ නැහැ, දේශමාමක උනා. දේශකමාමක වෙලා දැඩි නීති රීති පනවලා රට ගොඩගත්තා. අයිඑම්එෆ් එකත්, ලිබරල් උපදේශකවරයාවත් අයින් කළා. එහෙම කරලා රට දෙපයින් නගා සිටෙව්වා. අන්න ඒකයි එතුමා විශ‍්‍රාම ගිහිල්ලා අවුරුදු 15 කට පස්සේ වයසින් අවුරුදු 94ක් වෙලත්, තමන් හදපු පක්ෂේට විරුද්ධව ඡන්දෙ ඉල්ලලා මුළු ජනතාවම දිනෙව්වෙ. මොකද මිනිස්සු අත්දැකීමෙන් දන්නවා දුක් විඳලා හරි රට හදන්න මේ මිනිහා දැක්මක් තිබෙන සැබෑ දේශප්‍රේමියෙක් කියලා.

 

ඉතින් මිත‍්‍රවරුණි අද රටට අවශ්‍ය මිත‍්‍රවරුනි සබුද්ධික දේශමාමකත්වය. අපි පරණ චින්තනවල බැඳිලා ඉඳලා හරියන්නේ නැහැ. රටේ අර්බුදයට ඍජුව මුහුණ දිය යුතුයි. රටේ අර්බුදයට මුහුණදීමට නම් ජාතික ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. හැමෝම කියනවා වගේ හැම දෙයම කරන්න යන්න හොඳ නැහැ. හැමදේම මේ රටේ කරන්න බැහැ. අපි එය පිළිගත යුතුයි. නමුත් අපට කරන්න පුළුවන් ඒවා ටිකක් තිබෙනවා. ඒ ටික අපි නිෂ්පාදනය කරන්න ඇප කැප උනොත් මේ අර්බුදය අපට ආශිර්වාදයක්. රුපියල අවප‍්‍රමාණය වීම කියන එක අපට ආශිර්වාදයක්. අපිට ඊළඟ හය මාසේ ඇතුළතම මේකෙන් අපට ගොඩයන්න පුළුවන් මිත‍්‍රවරුණි. අපි ඒ දේශමාමක ප‍්‍රතිපත්තිය ක්‍රියාත්මක කළොත්. ඒක නිසා මේ ලෝකයේ හැම රටක්ම මේ වගේ අර්බුදයන්ට මුහුණ දුන් විට ගොඩගියේ එහෙමයි. අපේ අල්ලපු රටේ මෝඩි ජනාධිපතිතුමා පිටරටින් බඩු ගෙන්වන එක අද 90%කින් සීමා කර තිබෙනවා. සීමා කරලා අහකට දාලා තිබුණු ගාන්ධිව ආයෙත් ඉස්සරහට ගෙනල්ලා තිබෙනවා. ඉන්දියාවේ දේ ඉන්දියාව කළ යුතුයි කියලා. මම දන්නවා එතුමා 2019 ඔක්තෝම්බරයේ මහමැතිවරණයට යනකොට මෝඩි යන්නේ ශක්තිමත් දේශමාමක නායකයෙක් හැටියටයි. තමන්ගේ රට අර්බුදයෙන් ගලවගත්ත කෙනෙක් විදිහටයි යන්නේ. ඒ නිසා අපටත් අද රටට අවශ්‍ය ආර්ථිකය රට ඇතුලෙන් හදාගන්න. අපි අධෛර්යමත් විය යුතු නැහැ. ඒකට මේ රටේ හැමතැනකම තිබෙන කුසලතාවය ඉදිරියට ගේන්න අපට අවශ්‍යයි. එනිසා අපි බයනැතුව කියනවා නාගරික සංවර්ධන අධිකාරියෙන් ඒකට ආදර්ශයක් දීලා තිබෙනවා. වැටෙන රටක, වැටිච්ච ආර්ථිකයක ආයතනයක් හදපු එකට අපි ආදර්ශය දීලා තිබෙනවා.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *