27 July 2024
#දේශීය

යුද්ධයේ සෑබෑ කතාව අපේ මතු පරපුර දැනුවත් කළ යුතුයි – ජනපති කියයි

වීරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ට රණ ශූරත්වය, දේශාභිමානය සහ උත්තම මානුෂීය ගුණාංග පිළිබඳ මතු පරපුරට ද කියැවිය හැකි අන්දමින් තිස් අවුරුදු යුද ජයග‍්‍රහණයේ ශ්‍රේෂ්ඨ වීර කතාව කෘතියකට නැංවීම කාලීන අවශ්‍යතාවයක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

එම කියැවීම තුළ රටට ආදරය කරන සහ දේශාභිමානයෙන් පිරි අනාගත පරපුරක් රට තුළ නිර්මාණය වනවා මෙන්ම තිස් වසරක යුද්ධයේ සත්‍ය කතාව, එහි පසුබිම සහ මුල් බීජය නිවැරදිව ලෝකයාට විවර කළ හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ “උත්තමාචාරය” ග‍්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් අද (22) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ සටන් බිමේ සටන් කළ රණවිරුවාගේ සිට අණදෙන නිලධාරියා, ආඥාපතිවරයා දක්වා සියලුදෙනාගේ අත්දැකීම්, ජීවිත කතා සහ රණශූරත්වය විශිෂ්ට කතා පුවතක් බවයි. අදට සකී‍්‍රය සේවයේ නිරත රණවිරුවන් එම අතීත මතක සටහන් ගෞරවයෙන් සිහිපත් කරන අතර, මාතෘ භූමියට අභිමානයක් එක්කරන එම කතාව ඔවුන්ගේ ජීවන ගමනේ අවසානයත් සමඟ මැකී යාමට වගකිව යුතු පිරිස් ඉඩ නොතැබිය යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම මෙවන් අභිමානවත් මතක සැමරුමක් මතු පරපුරට තිළිණ කිරීම වසර 30 ක යුද්ධයේ දී ජීවිත පරිත්‍යාග කළ සියලු රණවිරුවන් වෙනුවෙන් කරන මහත්ම උත්තමාචාරය බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය “ මම වසර දෙකකට පමණ පෙර හිටපු හමුදාපතිවරුත් ගෙනැල්ලා ඇහුවා 80 දශකයේ යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්වා 2009 මැයි මාසයේ යුද්ධයේ කතාව සැබෑ සත්‍ය වූ දේ ලියලා නැහැ නේද කියලා. ලියලා නැහැ. අදත් ලියලා නැහැ. මට තිබෙන එක්තරා කනගාටුවක් තමයි ඒක අද ඒ සටන් බිමේ සිටි ඔබ වැනි අය ඉන්නවා. ඒ සටන් බිමේ සටන් කරනවා මාධ්‍ය තුළින් දැක්ක ජනතාව ඉන්නවා. නමුත් යුද්ධය ආරම්භ වුණේ 80 දශකයේ ද එහෙම නැත්නම් 76 යාපනය නගරාධිපති දොරෙඅප්පා ඝාතනය කරමින් ප්‍රභාකරන් එල්ල කළ පළමුවෙනි වෙඩිල්ලෙන් ද කොතනද කියන කතාව ආරම්භය ඒක වෙනම පැත්තක්. එහෙත් අඩු තරමින් දොරෙඅප්පා ඝාතනයේ සිට 2009 මැයි මාසේ අපේ මානුෂීය මෙහෙයුම දක්වා ඒ සැබෑ යුද්ධයේ කතාව මේ වගේ ලියැවිලා කියවන්න තිබෙනවා නම් කොච්චර හොඳ ද? දයා රත්නායක මහත්මයා වැනි විශ්‍රාමික හමුදාපතිවරු අපේ ලේකම්තුමා වගේ මේ ඉන්න ජිවිත කාලය තුළ මේක කියයි. හැබැයි මේ සිටින සෑම කෙනෙක්ම ජීවිතයෙන් සමු ගත්තහම තමන් දන්න කතාව එතනින් ඉවරයි. සටන් බිමේ සටන් කළ සොල්දාදුවගේ ඉඳලා අණදෙන නිලධාරියා දක්වා ආඥාපතිවරයා දක්වා තිස් වසකට ආසන්න යුද්ධයේ ඒ ශ්‍රේෂ්ඨ අභිමානවත් කතාව කියවන්න මේ රටේ අද ඉන්න දරුවෝ කොතරම් නම් ආස කරයි ද? අපි ඒකට අවස්ථාවක් දීලා නැහැ. මම දැන් වසර දෙකකම පමණ කලින් සියලුදෙනා ගෙනැල්ලා මේක කියලා ආරක්ෂක අමාත්‍යාංශයේ ඒකකයක් හැදුවා ඔය පොත ලියන්න කියලා. ඒ වෙලාවේ මම කිව්වා හිටපු හමුදාපතිවරු ඒ අයගේ නායකත්වය වගේම සටන් බිමේ සටන් කළ අද ජීවතුන් අතර සිටින අයගෙන් තොරතුරු ගන්න. ඒක මහාවංශයටත් වැඩි දිග කතාවක් විදියට ලියන්න පුළුවන්. කියවන කොට ඉන් ලැබෙන රසඥතාව එසේ මෙසේ කියලා කියන්න බැහැ. ඒ වගේම වීරත්වය ජාතියකට අවශ්‍ය ආත්ම අභිමානය, සටන්කාමිත්වය, අපේකම, අපේ උරුමය, දේශීයත්වය, අභිමානය අපේ මව්බිම කියන අදහස හැඟීම එවැනි පොතක් කියවීමෙන් කොච්චර නම් දැනේවිද? ඒ වගේම එදා ඒ සාකච්ඡාවෙන් පසුව ආරක්ෂක අමාත්‍යාංශයයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයි මම සම්බන්ධ කෙරුවා. විශ්වවිද්‍යාලයකුත් එක්ක එකතු වෙලා මේ ප්‍රකාශනය තිස් අවුරුදු කතාව ලියමු කියලා.

මීට වසර දෙකකට පමණ පෙර මගේ ගෙදරට ඒ සියලුදෙනාට එන්න කියලා මෙහෙම පොතක් ලියමු කියලා එදා මම කිව්වේ ඇයි? මට ආරංචි වුණ පරිදි ලෝකයේ ප්‍රබල රටක විශ්වවිද්‍යාලයක පර්යේෂණ අංශයක් එක්ක ලෝකයේ තැන්තැන්වල විහිදිලා සිටින එල්ටීටීඊ ජාලයේ ප්‍රධානීන් එකතු වෙලා එල්.ටී.ටී.ඊ.යේ සත්‍ය කතාව කියලා ප්‍රකාශනයක් මේ වෙන කොට ලියලා ඉවරයි. ඒ කතාව එළි දක්වපු දවසට ලෝකයේ දේශපාලනඥයන් ද විද්වතුන් ද හමුදා ප්‍රධානීන් ද පාසල් දරුවෙක් ද වෙන්න පුළුවන් ඒ පොත කියෙව්වොත් අපි වැරදිකාරයෝ එල්ටීටීඊය සහ ප්‍රභාකරන් තමයි හරි කියලා ඒ අය කියයි. ඒ රටවල සිටින අපේ ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් මට ඒ පණිවිඩය දුන්නේ. ඒ පොත ලියලා අවසාන කරන්න කිට්ටුව දැනගන්න ලැබුණු අවස්ථාවේ තමයි කඩිනමින් අපේ අය ගෙනැල්ලා මම කිව්වේ අපි අපේ හමුදාව පැත්තෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව රජය පැත්තෙන් අපේ කතාව ලියමු. කවුද ත්‍රස්තවාදියා. කවුද හරි කවුද වැරදිකාරයා කියලා. යුද්ධයේ ආරම්භය කුමක් ද? යුද්ධයේ සැබෑ කතාව කුමක් ද? යුද්ධයේ බීජය කොතන ද කියන එක අපි ලියමුයි කියලා. නමුත් අර පොත ලියලා අවසන් කර තිබෙන නිසා අන්තර්ජාලය මඟින් කියවන ලෝකයේ අය ඒක විශ්වාස කරාවි ලංකාවේ ඉන්නේ මහා ම්ලේච්ඡයෝ. ලංකාවේ ඉන්න ලාංකිකයෝ තමයි මේ යුද්ධයේ වැරදිකාරයෝ කියලා. මම හිතන්නේ අපි තවමත් ප්‍රමාද නැහැ. වෙනම ඒකකයක් හදපු අවස්ථාවේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත් බොහෝම කැමැත්තෙන් ස්වෙච්ඡාවෙන් ඒ වැඩේට එකතු වුණා.

අද මේ උත්සවයට ඇවිල්ලා මේ ග්‍රන්ථය දැක්කහම මට මතක් වුණා මම මෙහෙම වැඩක් කෙරුවා නේද කියලා. ඒ නිසයි මම මේක කිව්වේ. තව වසර දහස් ගණනකින් ඒක අපේ යුද්ධයේ ප්‍රබලතම ඉතිහාස කතාව බවට පත් වේවි. ඒ නිසා එවැනි ග්‍රන්ථයක් රචනා කිරීමේ වැදගත්කම මේ අවස්ථාවේ මා නැවතත් විශේෂයෙන්ම මතක් කරනවා.

මේ සැබෑ ලංකා පුත්‍රයන් වීරයන් පිළිබඳව මෙවැනි ග්‍රන්ථයක් රචනා කරන්න අදහස දුන් මේ වෙනුවෙන් වැඩ කළ සියලු දෙනාටත් මීට අවශ්‍ය සහයෝගය දුන් ආරක්ෂක ලේකම්තුමා ඇතුළු අමාත්‍යාංශයටත් ස්තූතිවන්ත වෙමින් දිවි පිදූ ඒ රණවිරුවන් මේ මාතෘභූමියේ ම නැවත ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සියලුදෙනාට ස්තූතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *