27 April 2024
#දේශීය

කැබිනෙට්ටුවටත් – ගුවන් හමුදාවටත් හොරෙන් ගුවන්හමුදාවේ අලුත්වැඩියා රුසියාවට බාරදෙයි….

කැබිනට් මණ්ඩලයටවත් නොදන්වා, ගුවන් හමුදාවටත් හොර රහසේ ගුවන්යානා අලුත්වැඩියාව සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කිරීමට ආණ්ඩුවේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 32 B වර්ගයේ ගුවන්යානා තුනක් නියමිත පටිපාටියෙන් තොරව යුක්රේනයේ, යුක්ක්‍රෙන් මාස් නමැති ආයතනයට ලබාදීම සඳහා අවශ්‍ය ගිවිසුම් අත්සන් කිරීමට නියමිත ය.

මෙම ගිවිසුම අත්සන් කිරීමට සැලසුම් කර ඇත්තේ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් නඩුවක් ද පවරා ඇති පසුබිමක ය. මීට පෙර ඩොලර් මිලියන දහයකට මෙම ගුවන්යානා අලුත්වැඩියාව සඳහා ගිවිසුම් අත්සන් කිරීමට සැලසුම් කර තිබිණි. නමුත් ඇතිවූ විරෝධය හේතුවෙන් එම මුදලින් ඩොලර් මිලියන 2.4ක් අඩු කිරීමට ද එකඟත්වය පළකර ඇති බව වාර්තා වේ.

ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුගේ මැදිහත් වීමෙන් ලබන 16 වැනි දින පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙර මෙය අත්සන් කිරීමට සැලසුම් කර ඇත. යුක්ක්‍රෙන් මාස් ආයතනය විසින් යුද හමුදාවට BTR රථවල ටයර් ලබාදීමේ ටෙන්ඩරයක් ගෙන ඇතත් එය මේ වනවිට නිසි පරිදි සැපයුම් භාරදීමට ද නොහැකි වී ඇත.

කෙසේ වෙතත් පසුගිය සමයේ යුක්ක්‍රෙන් මාස් ආයතනයේ දෙදෙනකු මෙරටට පැමිණ ඇත්තේ එම ගිවිසුම අත්සන් කිරීමටය.

එම ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව SCM 860, SCM 863, SCM 869 යන ඇන්ටනොව් 32B වර්ගයේ ගුවන්යානා තුන යුක්රේනයට රැගෙන යාමට නියමිතය. ඉන් එකක් ලබන 16 වැනි දිනට පෙර රැගෙන යාමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

* සටහන : අකලූෂ විද්‍යාතිලක

Leave a comment

Your email address will not be published. Required fields are marked *