ආන්දෝලනාත්මක ගල්අඟුරු ආනයනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විගණකාධිපති වාර්තාවේ සඳහන් ඇතැම් කරුණු පිළිගත නොහැකි බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි. ඊයේ රාත්‍රියේ විකාශය වූ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ගනුදෙනුව තුළ කිසිදු වංචාවක් සිදුව නොමැති බව රජයේ ස්ථාවරය බවයි. විගණකාධිපති වාර්තාව මගින් වංචාවක් සිදුව ඇති බව ප්‍රකාශ කර නොමැති අතර එහි දක්වා ඇත්තේ විය හැකි තත්ත්වයන් පිළිබඳ කරුණු දැක්වීමක් පමණක් බවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ අනුගමනය කළ ක්‍රමවේදයන්හි කිසිදු අඩුවක් සිදුව ඇති බව රජය විශ්වාස නොකරන බව පැවසූ අමාත්‍යවරයා, විගණන වාර්තාවේ ඉදිරිපත් කර ඇති ඇතැම් තාක්ෂණික කරුණු සැබෑ ලේඛන හා සැසඳීමේදී පරස්පරතාවන් පවතින බව ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම ලියාපදිංචි කිරීම් සහ තැන්පතු මුදල් සම්බන්ධයෙන් වාර්තාවේ දක්වා ඇති කරුණු දෝෂ සහිත බවත්, ඇතැම් වාර්තා සකස් වී ඇති ආකාරය පිළිබඳව ගැටලු පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සිදුවීම මුල් කරගනිමින් විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව රජයේ බහුතර බලයෙන් පරාජය කරන බවද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදී විශ්වාසය පළ කළේය. විගණකාධිපති වාර්තාව සමස්තයක් ලෙස වැරදි බව තමන් ප්‍රකාශ නොකරන නමුත් එහි අඩංගු ඇතැම් කොටස් සහ කරුණු ඉදිරිපත් කර ඇති ආකාරය නිවැරදි නොවන බව අමාත්‍යවරයා සිය අදහස් දැක්වීම අවසානයේ අවධාරණය කළේය.














