27 April 2024
#දේශීය

තමා සිටිනකම් කඩොලාන පද්ධතිය විනාශ කරන්න දෙන්නේ නෑ – අමාත්‍ය චන්ද්‍රසේන

වන ජිවි ප්‍රදේශවලට අයත් කඩොලාන පද්ධතිය විනාශ කිරීම සඳහා කිසිසේත් ඉඩ ලබා නොදෙන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන, පරිසර හා වනජිවි සම්පත් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (12) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ වනජිවි පනත ඉතා ශක්තිමත් පනත් බවත් එය පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව වනජිවි ප්‍රදේශවලට අයත් බිම් අගලක්වත් කිසිදු කාර්යයක් සඳහා යොදා ගත නොහැකි බවයි.

පසුගිය දිනක ගම්පහ දිස්ත්‍රික් සහකාර වන සංරක්ෂණ නිලධාරිනිය දේවානි ජයතිලක මහත්මිය මිගමුව කලපු සංවර්ධන රැස්වීමේදී සිදු වු සාකච්ඡාවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වී තිබේ.

එහිදී මිගමුව කලපුවේ පිහිටි අක්කර 3කට ආසන්න කඩොලානවලින් පිරි දූපතක්, ක්‍රීඩා පිටියක් කිරීමට එරෙහිව දේවානි ජයතිලක මහත්මිය හා ධිවර සහ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ධිවරයින් අතර යම් වචන හුවමාරුවක් සිදුවිය.

එම සාකච්ඡාව සඳහා හිටපු අමාත්‍ය සරත් කුමාර ගුණරත්න සහ රාජ්‍ය නිලධාරීන් පමණක් නොව මිගමුව ධිවර ජනතාව ද සහභාගි විය.

මෙහිදී වන සංරක්ෂණ නිලධාරිනිය කියා සිටියේ එම බිම් කොටස වන සංරක්ෂණයට අයත් රජයේ ඉඩම් බවට එය කිසිසේමත් පොදු ජනතාවට ලබා දීමට නිතීමය හැකියාවක් නොමැති බවයි. එයට ධීවර ප්‍රජාව මෙන්ම රාජ්‍ය අමාත්‍යවරයා ද ඇයට එරෙහිව වචන හුවමාරු වීමක් දක්නට තිබියි.

කෙසේ වෙතත් මේ සිද්ධියෙන් පසුව වනජිවි සම්පත් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වන ජිවි පනත සම්බන්ධයෙන් දැනුවත් නොමැති වීම තුලින් මෙම සිද්ධිය ඇතිවී තිබෙන බවයි. කෙසේ වෙතත් එම නිලධාරිනියට කිසිදු අයුරකින් හානියක් සිදුවන්නට තමා ඉඩ නොදෙන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *