පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා මූල්‍යමය ගැටලුවක් නොමැති බවත්, මැතිවරණය කඩිනමින් පැවැත්වීම රජයේ අපේක්ෂාව බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය. මීට පෙර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කර තිබුණේ ආපදා තත්ත්වයන් හේතුවෙන් මැතිවරණය සඳහා වෙන් කළ මුදල් එම කටයුතු සඳහා වැය කර ඇති බවත්, ඒ නිසා මේ මොහොතේ ඡන්දයක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බවත්ය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනතාවගේ අභිලාෂයන් වන මනාප ක්‍රමය ඉවත් කිරීම, කොට්ඨාස මට්ටමින් මන්ත්‍රීවරයෙකු තෝරාගැනීම සහ කාන්තා නියෝජනය සහතික කිරීම යන කරුණු පදනම් කරගනිමින් පළාත් පාලන මැතිවරණයේදී අනුගමනය කළ සාර්ථක ක්‍රමවේදයේ දිගුවක් ලෙස පළාත් සභා සඳහා නව ඡන්ද ක්‍රමයක් සකස් වෙමින් පවතින බවයි. එම කටයුතු මේ වන විටත් පාර්ලිමේන්තු කමිටුවක් වෙත භාර දී ඇති අතර, මනාප ක්‍රමයෙන් තොරව කොට්ඨාස මට්ටමින් නියෝජිතයින් පත් කරගැනීමේ ක්‍රියාවලිය සීමා නිර්ණය කිරීමෙන් පසු කඩිනමින් මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.













