ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (08) රැස් වූ අතර, එහිදී ක්ෂේත්‍රයේ පවතින ගැටලු කිහිපයකට අදාළ වැදගත් තීරණ ගනු ලැබීය.
මෙහිදී ප්‍රධාන වශයෙන් 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ නිකුත් කර ඇති මගී සේවා අවසර පත්‍ර වෙනත් පාර්ශවයකට පැවරීමට අදාළ නෛතික ප්‍රතිපාදන සඳහා කාරක සභාවේ අනුමැතිය හිමි විය. මීට පෙර පනතේ තිබූ බාධාවන් ඉවත් කරමින් 2025 අංක 8 දරන සංශෝධන පනත හරහා බස් හිමියන්ට සහ බලධාරීන්ට මතු වූ කළමනාකරණ ගැටලු විසඳීමට දැන් අවස්ථාව සැලසී තිබේ.
අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළ තවත් කරුණු කිහිපයක් පහත පරිදි වේ:
බස් ගාස්තු සහ වර්ජන
ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු කර තිබියදී, ඇතැම් පිරිස් වර්ජන දියත් කරමින් ජනතාව අපහසුතාවට පත් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව අමාත්‍යවරයා පැවසීය. රජය සැමවිටම මගී ජනතාව සහ බස් හිමියන් යන දෙපාර්ශවයම ආරක්ෂා වන පරිදි තීරණ ගන්නා බව ඔහු සඳහන් කළේය.
බලපත්‍ර කාල සීමාව
මගී ප්‍රවාහන බලපත්‍ර යනු මහජනතාවට අයත් සම්පතක් වන බැවින්, එම බලපත්‍ර සඳහා ඉදිරියේදී නිශ්චිත කාල සීමාවක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී හෙළි කළේය.
මාර්ග ව්‍යාපෘති කඩිනම් කිරීම
මාර්ග සහ මංසන්ධි පුළුල් කිරීමේ ව්‍යාපෘති කිහිපයක් ප්‍රමාද වීම කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ අතර, අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ මනා සම්බන්ධීකරණයකින් එම ව්‍යාපෘති කඩිනම් කරන ලෙස ඔහු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.














