ඉරාන යුද්ධය හේතුවෙන් මැදපෙරදිග කලාපය තුළ නිර්මාණය වී ඇති තත්ත්වය ‘ඉතිහාසයේ විශාලතම බලශක්ති ආරක්ෂණ තර්ජනය’ ලෙස හඳුන්වමින්, ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) ගෝලීය තෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක් කර තිබේ. වොෂින්ටනයේදී අදහස් දක්වමින් IEA විධායක අධ්‍යක්ෂ ෆාති බිරෝල් (Fatih Birol) සඳහන් කළේ, අප්‍රේල් මාසය මාර්තු මාසයට වඩා බලශක්ති වෙළඳපොළට සහ ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි.
මාර්තු මාසයේදී ලොව පුරා බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වූයේ යුද්ධය ආරම්භ වීමට පෙර නැව්ගත කරන ලද තෙල් තොග ලැබීම නිසා වුවද, අප්‍රේල් මාසය තුළ මැදපෙරදිග කලාපයෙන් කිසිදු නව තෙල් තොගයක් නැව්ගත කර නොමැති බව ඔහු මෙහිදී අනාවරණය කළේය. පවතින සැපයුම් අර්බුදයේ බරපතලකම තවමත් තෙල් මිල කෙරෙහි පූර්ණ ලෙස පිළිබිඹු වී නොමැති බවත්, ඉදිරියේදී මිල ගණන් සහ සැපයුම් හිඟය අතර ඇති මෙම පරතරය නැති වී මිල සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
මෙම පෙර නොවූ විරූ බලශක්ති අර්බුදය ගෝලීය ආර්ථිකයේ ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් එල්ල කරමින් පවතින බවත්, විශේෂයෙන්ම අප්‍රේල් මාසයේ සිට එහි සැබෑ බලපෑම ලෝකයට දැනෙනු ඇති බවත් IEA ප්‍රධානියා වැඩිදුරටත් අවධාරණය කළේය.














