උතුරු කොරියාව සිය ‘Choe Hyon’ වර්ගයේ නවීන නාවික විනාශක නෞකාවක (Destroyer) මෙහෙයුම් කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීම සඳහා උපායමාර්ගික කෲස් මිසයිල සහ නෞකා නාශක මිසයිල කිහිපයක් සාර්ථකව අත්හදා බලා තිබේ. පසුගිය ඉරිදා පැවැත්වූ මෙම පරීක්ෂණය එරට නායක කිම් ජොන් උන්ගේ සෘජු නිරීක්ෂණය යටතේ සිදුවූ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
මෙහිදී උපායමාර්ගික කෲස් මිසයිල දෙකක් සහ නෞකා නාශක මිසයිල තුනක් මුදාහැර ඇති අතර, ඒවායේ ඉලක්කගත නිරවද්‍යතාව සහ සතුරු සංඥා බාධක මගහැරීමේ හැකියාව (Anti-jamming performance) මෙහිදී තහවුරු කරගෙන ඇත. උතුරු කොරියාවේ බටහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මෙම මිසයිල ඉතා ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව තම ඉලක්ක වෙත පතිත වී තිබේ.
මෙම අවස්ථාවේදී කිම් ජොන් උන් විසින් දැනට ඉදිවෙමින් පවතින තෙවන සහ සිව්වන ‘Choe Hyon’ පන්තියේ නාවික විනාශක නෞකා පිළිබඳව ද වාර්තා ලබාගෙන ඇත. රටේ න්‍යෂ්ටික යුද ශක්තිය සහ වේගවත් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ඉහළ නැංවීම සිය ප්‍රමුඛතම කාර්යය බව ඔහු මෙහිදී අවධාරණය කළේය. මැදපෙරදිග ඇතුළු ලෝකයේ පවතින උණුසුම් තත්ත්වයන් හමුවේ උතුරු කොරියාව සිය නාවික සහ න්‍යෂ්ටික බලය වේගයෙන් වර්ධනය කරමින් සිටින බව විදෙස් විචාරකයෝ පෙන්වා දෙති.














