ශ්‍රී ලංකාවේ මේ දිනවල සිදුවන සාම පාගමනත් සමඟ ‘පා ගමන්’ පිළිබඳ සමාජීය කතිකාවතක් ගොඩනැගී තිබේ. පා ගමන යනු හුදෙක් විරෝධතාවක් පමණක් නොව, එය මානව ශිෂ්ටාචාරයේ මූලාරම්භය හා බැඳුණු සහජ උරුමයකි. අප්‍රිකාවෙන් බිහි වූ ආදි මානවයා ලොව පුරා සංක්‍රමණය වෙමින් ශිෂ්ටාචාර ගොඩනැගුවේ සිය දෙපයින් ඇවිද යාමෙනි. කාලයත් සමඟ මෙම ගමන ආහාර සොයා යාමේ සිට යුක්තිය, නිදහස සහ සාමය සොයා යන ගමනක් දක්වා පරිවර්තනය විය
මහත්මා ගාන්ධිතුමාගේ නායකත්වයෙන් බ්‍රිතාන්‍ය ලුණු බද්දට එරෙහිව 1930 දී කිලෝමීටර් 385ක් ඇවිද ගිය ලුණු සත්‍යාග්‍රහය, අවිහිංසාවාදීව අධිරාජ්‍යවාදය දෙදරවා හැරීමට සමත් විය. එමෙන්ම 1789 ප්‍රංශ විප්ලවය සමයේ පාන් මිල ඉහළ යාමට එරෙහිව කාන්තාවන් දහස් ගණනක් රජ මාලිගාව වෙත ඇවිද ගිය වර්සේල්ස් කාන්තා පා ගමන, ප්‍රංශ රාජාණ්ඩුවේ බලය බිඳ දැමීමට මුල් විය. 1963 වසරේදී ඇමරිකාවේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් ලක්ෂ දෙකහමාරක ජනතාවක් සහභාගී වූ වොෂින්ටන් පා ගමනේදී මාටින් ලූතර් කිං (කණිෂ්ඨ) සිය සුප්‍රකට “I Have a Dream” දේශනය සිදු කළේය. මීට අමතරව 1934-1935 කාලයේ මාඕ සේතුංගේ නායකත්වයෙන් කිලෝමීටර් 9,000කට ආසන්න දුරක් ගිය චීන මහා පා ගමන නූතන චීනයේ දේශපාලන අත්තිවාරම බවට පත්විය.
පා ගමනක් යනු හුදෙක් භෞතික චලනයක් නොව, එය සමාජයක සාමූහික මනෝවිද්‍යාත්මක ප්‍රකාශනයකි. යහපත් හෙට දවසක් හෝ සාධාරණත්වයක් වෙනුවෙන් මිනිසා සාමූහිකව පියවර තැබීම යනු ශිෂ්ටාචාරයේ අත්හළ නොහැකි මහා උරුමයයි.












