මහා භාණ්ඩාගාරය විසින් විදේශ ණය වාරිකයක් ලෙස ගෙවූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වගකිව යුතු බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ සභාපති, ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.
තම සංවිධානය මෙම තොරතුරු හෙළි නොකළේ නම් ආණ්ඩුව මෙම මූල්‍ය වංචාව දිගින් දිගටම වසන් කිරීමට ඉඩ තිබූ බව හෙතෙම චෝදනා කරයි. විමර්ශන කටයුතු සාධාරණව සිදු කිරීමට නම් මුදල් ලේකම් හර්ෂණ සූරියපේරුම මහතා වහාම ධුරයෙන් ඉවත් කළ යුතු බවත්, අදාළ සිදුවීම වී මාස තුනක් ගතවන තුරු එය රහසක් ලෙස තබා ගැනීම ගැටලු සහගත බවත් ඔහු අවධාරණය කළේය. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා එම සංවිධානය කථානායකවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
මේ අතර මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අදාළ සොරකම සම්බන්ධයෙන් දැනටමත් නීතිය බලාත්මක කරන ආයතන වෙත පැමිණිලි කර ඇති බවයි. මූලික අභ්‍යන්තර පරීක්ෂණ නිම කර ඇති අතර, ඊට සම්බන්ධ බවට සැක කෙරෙන නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව දැනටමත් විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.












