27 April 2024
#දේශීය

4 වන කර්මාන්ත විප්ලවය ඇති කරනවා – අගමැති

ලොව අනෙකුත් රටවල් මෙන් දියුණුවී ඉදිරියට යාමට නම් 4 වන කර්මාන්ත විප්ලවය ඇරඹිය යුතු බවත්, ඊට වුවමනා විශේෂඥ දැනුම ලබාදී එය ජය ගැනීමට හැකි වන පරිදි මෙරට විශ්වවිද්‍යාල හා පශ්චාත් උපාධි අංශ දියුණු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (04) දින කොළඹ විශ්වවිද්‍යාලයේදී පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ නව ශ්‍රවනාගාරය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින්.

ඩිජිටල් තරඟයට ලක්ව ඇති ලෝකය සමඟ ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට හැකිවන ආකාරයට ඉදිරි වසර 5ක් සඳහා දිගු කාලීන සැලැස්මක් අප ඇතිකරගත යුතු බවද වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” මෙහිදී අප කාරණා දෙකක් පිළිබද අවධානය යොමුකළ යුතුයි. එකක් වන්නේ හතරවන කර්මාන්ත විප්ලවයයි. ඒ හරහා අලූත් ආර්ථික රටාවක්, නව දැනුම හඳුන්වා දිය යුතුයි. ඒ සදහා අවශ්‍ය විශේෂ දැනුම විශ්වවිද්‍යාල හරහා ලබා දිය යුතුයි. ඒ නිසා විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය මෙන්ම පශ්චාත් උපාධි අංශද තව තවත් දියුණු කළ යුතුයි. ලංකාවේ සෑම විශ්වවිද්‍යාලයක් සඳහාම මෙම අවස්ථා ලබාදීමට නොහැකි වුණත් තෝරාගත් විශ්වවිද්‍යාල වලට මෙම අවස්ථා ලබාදිය යුතුයි. නව තොරතුරු තාක්ෂණය, නැනෝ තාක්ෂණය දියුණු කළ යුතුයි. එසේම වාණිජ කෘෂිකර්මය ද හඳුන්වා දිය යුතුයි. සිංගප්පුරුවේ තට්ටු නිවාස වලින් අපිටත් වඩා මල් ප්‍රමාණයක් විදේශ රටවලට මේ වන විට අලෙවි කරනවා. මෙම ක්‍රමවේද දියුණු කිරීම සඳහා අපි මුදල් වෙන් කළ යුතුව තිබෙනවා. අපේ අධ්‍යාපනය දියුණු කිරීම සඳහා සුහුරු පන්ති කාමර ක්‍රමය මේ වන විට ආරම්භ කර තිබෙනවා. ගුරුවරු පුහුණු කිරීම ආරම්භ කර තිබෙනවා. දැනුම සහිත ශ්‍රී ලාංකික ගුරුවරු ගණනාවක් වෙනත් රටවල් වල සිටිනවා. ඔවුන් නැවත ගෙන්වා ගැනීමටත් කටයුතු කළ යුතුයි. පශ්චාත් උපාධි සඳහා සහභාගි වන අයට පසුව ගෙවීමේ ක්‍රමවේදය ඔස්සේ අපිට ණය ලබාදිය හැකියි. ආණ්ඩුවක් ලෙස ඉදිරි වසර 5 තුල අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇතිකිරීම අපේ අරමුණ බව ” යැයි අග්‍රාමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාවට නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම්, අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ආශු මාරසිංහ, විමලවීර දිසානායක, තිලංග සුමතිපාල, කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලක්‍ෂ්මන් දිසානායක, පීඨාධිපතිවරු සහ ආචාර්යවරු ඇතුළු දේශපාලඥයින් හා විශ්වවිද්‍යාල ආචාර්යවරු රැසක් සහභාගීව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *