බටහිර ඉවුරේ (West Bank) පලස්තීන ගම්මානයක් වන ටයාසිර් (Tayasir) හි වාර්තාකරණයේ යෙදී සිටි CNN පුවත් සේවයේ මාධ්‍යවේදීන් පිරිසකට ඊශ්‍රායල සොල්දාදුවන් පිරිසක් පහර දී තිබේ. ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් සිදුකළ ප්‍රචණ්ඩ ප්‍රහාර මාලාවක් වාර්තා කිරීමට ගිය අවස්ථාවේදී මෙම සිදුවීම වාර්තා වී ඇත. මාධ්‍යවේදීන් තමන් කවුරුන්ද යන්න පැහැදිලිව අනාවරණය කර තිබියදීත්, සොල්දාදුවන් ඔවුන් වෙත අවි අමෝරා බිම වාඩිවන ලෙස නියෝග කර ඇති අතර, එහිදී සිිරිල් තියෝෆිලස් (Cyril Theophilos) නම් ඡායාරූප මාධ්‍යවේදියාගේ ගෙල සිරකර (Chokehold) බිම ඇද දමා ඔහු සතු කැමරා උපකරණවලට ද හානි කර තිබේ.
මෙම ප්‍රහාරය වාර්තා වී පැය 48ක් ඇතුළත ක්‍රියාත්මක වූ ඊශ්‍රායල ආරක්ෂක අංශ, අදාළ සිදුවීමට සම්බන්ධ හමුදා බලඇණිය වහාම ක්‍රියාත්මක වන පරිදි එම ප්‍රදේශයෙන් ඉවත් කර විමර්ශන ආරම්භ කර ඇත. විදේශ මාධ්‍යවේදීන්ගේ සංගමය (FPA) මෙය මාධ්‍ය නිදහසට එල්ල වූ සෘජු ප්‍රහාරයක් ලෙස හෙළා දැක ඇති අතර, ඊශ්‍රායල යුද හමුදා පොලිසිය මේ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන බව තහවුරු කළේය. මැදපෙරදිග යුද උණුසුම හමුවේ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව මේ වන විට සිය දැඩි අවධානය යොමු කර ඇත.














