හැටන් නැෂනල් බැංකුව (HNB) 2026 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ පළමු මාස නවය සඳහා රුපියල් බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කර තිබෙනවා. එම කාලසීමාව තුළ HNB සමූහයේ බදු පසු ලාභය රුපියල් බිලියන 33.6ක් ලෙස සටහන් වී ඇති බව බැංකුව නිවේදනය කරනවා.
2026 වසරේ පළමු මාස නවය තුළ බැංකුවේ සමස්ත ණය සහ අත්තිකාරම් ප්‍රමාණය රුපියල් බිලියන 313.5කින් හෙවත් සියයට 20.7කින් වර්ධනය වී තිබෙනවා. එමෙන්ම, තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 251.7කින් හෙවත් සියයට 12.8කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව ශුද්ධ පොලී ආදායම සියයට 23.6කින් වර්ධනය වී රුපියල් බිලියන 85.5ක් බවට පත්ව තිබෙනවා. ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම සියයට 25.4කින් ඉහළ ගොස් රුපියල් බිලියන 20.6ක් ලෙස වාර්තා වී ඇති අතර, සමස්ත මෙහෙයුම් ආදායම සියයට 22.9කින් වර්ධනය වී රුපියල් බිලියන 112.7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බැංකුවේ හානිපූරණයට පෙර මෙහෙයුම් ලාභය සියයට 28.8කින් වර්ධනය වී රුපියල් බිලියන 71.9ක් ලෙස වාර්තා වී ඇති අතර, ණය අවදානම් කළමනාකරණය වෙනුවෙන් රුපියල් බිලියන 5.3ක හානිපූරණ ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.
මේ අතර, බැංකුවේ Net Stage 3 අනුපාතය සියයට 1.09ක් සහ Stage 3 ආවරණ අනුපාතය සියයට 73.46ක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙනවා.
මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා සඳහන් කර ඇත්තේ, ණය හා තැන්පතු වර්ධනය සමඟ ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා සංචිත ශක්තිමත්ව පවත්වාගෙන යමින් අවදානම් කළමනාකරණයට ප්‍රමුඛත්වය ලබාදීම බැංකුවේ අරමුණ බවයි.
















