ශ්‍රී ලංකාවේ නිර්මාණශීලී අධ්‍යාපනය සහ නිර්මාණශීලී කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් දායකත්වය ලබාදෙන AMDT School of Creativity ආයතනය සිය 21 වැනි සංවත්සරය පසුගියදා සමරා තිබේ.
2005 වසරේදී ආරම්භ කළ මෙම ආයතනයේ අරමුණ වී ඇත්තේ නිර්මාණශීලී අධ්‍යාපනය සහ ඒ ආශ්රිත රැකියා පිළිබඳ සමාජයේ පැවති සාම්ප්‍රදායික ආකල්ප වෙනස් කිරීමයි. වර්තමානය වන විට නිර්මාණශීලීත්වය, තාක්ෂණය සහ ව්‍යාපාරික දැනුම ඒකාබද්ධ කරමින් අනාගත රැකියා වෙළෙඳපොළට ගැළපෙන වෘත්තිකයන් බිහිකරන අධ්‍යාපන ආයතනයක් බවට AMDT පත්ව තිබේ.
නිර්මාණකරණය, විලාසිතා, සජීවීකරණය, සිනමාව සහ මාධ්‍ය, නිර්මාණශීලී පරිගණකකරණය සහ ව්‍යාපාරික නවෝත්පාදන ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි ආයතනය සිය අධ්‍යාපන වැඩසටහන් පුළුල් කර ඇත.
Pearson ආයතනයේ පිළිගැනීම හිමි AMDT, 2019 වසරේදී බ්‍රිතාන්‍යයේ Falmouth විශ්වවිද්‍යාලය සමඟ අධ්‍යයන සහයෝගීතාවකට ද එළඹ තිබේ. එමෙන්ම University of East London (UEL) සමඟ ඇති කරගත් නව සහයෝගීතාව හරහා ශ්‍රී ලාංකික සිසුන්ට මෙරට සිටම ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත උපාධි සහ පශ්චාත් උපාධි හැදෑරීමේ අවස්ථාව ද සලසා දී ඇත.
AMDT School of Creativity හි නිර්මාතෘ, විධායක නිර්මාණ අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සතීෂ් කුමාර් මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නිර්මාණශීලී ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී තවදුරටත් පුළුල් කාර්යභාරයක් ඉටු කිරීමට අපේක්ෂා කරන බවයි.
අධ්‍යාපනය, කර්මාන්ත, පර්යේෂණ, නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය අතර සම්බන්ධතාව ශක්තිමත් කරමින් ජාත්‍යන්තර මට්ටමින් තරග කළ හැකි නිර්මාණශීලී ආර්ථිකයක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීම ආයතනයේ ඉදිරි අරමුණ වී තිබේ.














