දකුණු ලෙබනනයේ සාම සාධක රාජකාරිවල නිරතව සිටි ඉන්දුනීසියානු ජාතික එක්සත් ජාතීන්ගේ සාම සාධක සෙබළුන් දෙදෙනෙකු ඊයේ (30) සිදුවූ ප්‍රබල පිපිරීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය (UNIFIL) නිවේදනය කරයි. මෙම පිපිරීමෙන් තවත් සාම සාධක සෙබළෙකු බරපතල තුවාල ලබා ඇති අතර තවත් අයෙකු සුළු තුවාල ලබා තිබේ.
පසුගිය පැය 24 තුළ ඉන්දුනීසියානු සාම සාධක සෙබළෙකු මියගිය දෙවන අවස්ථාව මෙය වන අතර, ඉරිදා රාත්‍රියේ දකුණු ලෙබනනයේ අඩ්චිට් අල් කුසෙයර් (Adchit Al Qusayr) ප්‍රදේශයේදී එල්ල වූ ප්‍රහාරයකින් තවත් ඉන්දුනීසියානු සෙබළෙකු මියගියේය. ඇමෙරිකා-ඉශ්‍රායල සහ ඉරාන ගැටුම හමුවේ ඉශ්‍රායල හමුදා සහ හිස්බුල්ලා (Hezbollah) සංවිධානය අතර දකුණු ලෙබනනයේ පවතින දරුණු යුදමය වාතාවරණය මෙම මරණවලට හේතු වී ඇතැයි සැක කෙරේ.
ඉශ්‍රායල ආරක්ෂක අංශ (IDF) ප්‍රකාශ කර සිටින්නේ මෙම සිදුවීම් පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත්, සක්‍රීය යුද කලාපයක මෙම මරණ සිදුව ඇති බැවින් එහි වගකීම හිස්බුල්ලා සංවිධානයට හෝ ඉශ්‍රායල හමුදාවට පැවරිය හැකි බවත්ය. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් (Stéphane Dujarric) අවධාරණය කළේ ජාත්‍යන්තර ප්‍රජාව වෙනුවෙන් සේවය කරන සාම සාධක සෙබළුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සෑම පාර්ශවයකම වගකීමක් බවයි. මේ අතර, අද (31) උදෑසන දකුණු ලෙබනනයේදී සිය සෙබළුන් සිව්දෙනෙකු ද මියගිය බව ඉශ්‍රායල හමුදාව තහවුරු කළේය.














