ඇමෙරිකාවේ කෘෂිකාර්මික කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ සුප්‍රකට ක්‍රියාධාරියෙකු වන සීසර් චාවේස්ට එරෙහිව මතු වූ බරපතල ලිංගික අපයෝජන චෝදනා හේතුවෙන්, ඔහු වෙනුවෙන් වෙන් කර ඇති “සීසර් චාවේස් දිනය” යළි සලකා බැලීමට කැලිෆෝනියා ප්‍රාන්ත සෙනෙට් සභිකයින් සහ ක්‍රියාධාරීන් පියවර ගෙන තිබේ. මාර්තු 31 වනදාට යෙදෙන මෙම දිනය “ගොවි කම්කරු දිනය” (Farmworkers Day) ලෙස නම් කිරීමටත්, ඔහුගේ නමින් ඇති වීදි, උද්‍යාන සහ පාසල්වලින් එම නම ඉවත් කිරීමටත් මේ වන විට යෝජනා ඉදිරිපත් වී ඇත.
1960 දශකයේදී කම්කරු අයිතීන් වෙනුවෙන් “Si, se puede” (ඔව්, අපට පුළුවන්) යන තේමාව යටතේ දැවැන්ත අරගල මෙහෙයවූ චාවේස්, ඇමෙරිකානු ඉතිහාසයේ ගෞරවයට පාත්‍ර වූ චරිතයකි. බරක් ඔබාමා සහ බිල් ක්ලින්ටන් වැනි හිටපු ජනාධිපතිවරුන් පවා ඔහු ඇගයීමට ලක් කර තිබුණි. කෙසේ වෙතත්, ඔහු සමඟ එක්ව ජාතික ගොවි කම්කරු සංගමය (NFWA) පිහිටුවීමට දායක වූ සිවිල් අයිතිවාසිකම් නායිකා ඩොලෝරස් හුවර්ටා (Dolores Huerta), මීට දශක කිහිපයකට පෙර ඔහු තමන්ව දූෂණය කළ බවට ‘New York Times’ පුවත්පත හරහා කළ හෙළිදරව්ව මෙම ආන්දෝලනයට හේතු වී තිබේ.
කැලිෆෝනියා ප්‍රාන්ත සෙනෙට් සභික සුසෙට් මාටිනස් වැලඩරෙස් (Suzette Martinez Valladares) පවසන්නේ, ගොවි කම්කරු උරුමය එක් පුද්ගලයෙකුට පමණක් සීමා නොවන බවත්, තම පවුලේ සාමාජිකයින් ද ඇතුළු දහස් ගණන් කම්කරුවන්ගේ කැපකිරීම්වලට නිසි ගෞරවය හිමිවිය යුතු බවත්ය. මෙම චෝදනා හමුවේ චාවේස්ගේ ප්‍රතිරූපය දැඩි පසුබෑමකට ලක්ව ඇති අතර, ඩෙන්වර් (Denver) වැනි නගරවල පිහිටි ඔහුගේ පිළිරූ ඉවත් කිරීමට ද බලධාරීන් පියවර ගෙන ඇත.














