මඩකලපුව කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේදී තනිව ගමන් ගන්නා කාන්තාවන් රවටා, මත්ද්‍රව්‍ය ලබාදී, රන් ආභරණ කොල්ලකා ළිංවලට දැමීමේ අමානුෂික සිද්ධිය සම්බන්ධයෙන් වත්තල ප්‍රදේශයේ ෆාමසි (ඔසුසල) හිමිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් 49 හැවිරිදි මෙම සැකකරු පසුගිය ඉරිදා (29) නැගෙනහිර පළාත් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුදා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රශ්න කිරීම සඳහා දින 03ක රැඳවුම් නියෝග ලබාගෙන ඇත. මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම බරපතළ අපරාධ රැල්ලට සම්බන්ධ සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පොලීසිය පවසන්නේ මෙම සංවිධානාත්මක කණ්ඩායම විසින් තනිව ගමන් ගන්නා කාන්තාවන් ත්‍රීරෝද රථවලට නංවාගෙන, පසුව ඔවුන්ට සිහිසුන් වන පරිදි යම් ද්‍රව්‍යයක් පානය කිරීමට දී, ඔවුන් සතු රන් ආභරණ කොල්ලකා ළිංවලට දමා පළා ගොස් ඇති බවයි. මෙම අපරාධ හේතුවෙන් එක් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් කාන්තාවක දිවි ගලවාගෙන මඩකලපුව ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. මෙහිදී තම තෙහැවිරිදි දරුවා සමඟ ගමන් කළ මවකට ද ප්‍රහාරය එල්ල වී ඇති අතර පසුව දරුවා ආරක්ෂිතව සොයා ගැනීමට හැකි විය.














