දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට පාත්‍ර වූ පින්නවල සංචාරක කලාපයේ පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. මේ වසරේදී එම කලාපයට නව පහසුකම් රැසක් එක් කිරීමට නියමිත අතර වාහන අංගනය විධිමත් ලෙස සකස් කිරීම ද ඊට ඇතුළත් ය. පින්නවල සංචාරක කලාපයේ යටිතල පහසුකම් දියුණු කිරීමෙන් ඉන් ලැබෙන ආදායම ඉහළ නැංවීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ මහතා ප්‍රකාශ කර ඇත.
මේ අතර, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස අත්තනගල්ල අලවල ප්‍රජාමූල තිරසර සංචාරක ගම්මානය එළිදැක්වීම නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. අලවල ප්‍රදේශයේ පවතින සුන්දර දියඇලි සහ ඓතිහාසික ස්ථාන නැරඹීමට මෙම සමාරම්භක අවස්ථාවට එක් වූ විදේශීය සංචාරකයන්ට ද අවස්ථාව සලසා දී තිබුණි.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චම්පික හෙට්ටිආරච්චි සහ රුවන් මාපලගම යන මහත්වරුන් මෙන්ම බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති මහේෂ් ප්‍රියදර්ශන මහතා ද සහභාගී වී සිටියහ.
















