කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉලක්ක කරගනිමින් අද (01) උදෑසන එල්ල වූ ප්‍රබල ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් එහි ඉන්ධන ගබඩා ටැංකි විශාල ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ඇති බව කුවේට් රාජ්‍ය පුවත් ඒජන්සිය (KUNA) වාර්තා කරයි. මෙම ප්‍රහාරයත් සමඟ ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දැවැන්ත ගින්නක් හටගෙන ඇති අතර ඉන් සිදුවූ දේපළ හානිය ඉතා ඉහළ අගයක් ගන්නා බව බලධාරීහු පවසති. වාසනාවකට මෙන් මෙම අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව තහවුරු කර ඇත.
ඇමරිකානු හමුදා කඳවුරු පවත්වාගෙන යන ගල්ෆ් කලාපයේ රටවල් ඉලක්ක කරගනිමින් ඉරානය දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර මාලාවක නවතම පියවර ලෙස මෙය සැලකේ. කුවේට් ගුවන් සේවා ඉන්ධන සමාගමට අයත් මෙම ටැංකිවලට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතුවලට ද දැඩි බලපෑම් එල්ල වී තිබේ. ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා විසින් ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධය මේ වන විට කලාපීය මට්ටමින් ව්‍යාප්ත වෙමින් පවතින බව මෙම ප්‍රහාරයෙන් යළිත් තහවුරු වේ.
කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ ගින්න පාලනය කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි. මැදපෙරදිග කලාපයේ පවතින මෙම යුදමය වාතාවරණය හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් සහ තෙල් සැපයුම් ජාලයන්ට එල්ල වී ඇත්තේ දැඩි තර්ජනයකි. ඉරානය විසින් සිය අසල්වැසි රටවල් ඉලක්ක කර ගනිමින් මෙවැනි ප්‍රහාර එල්ල කිරීම ජාත්‍යන්තර දේශපාලන කරළිය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.














