ගල් අඟුරු ගනුදෙනුවල සිදුව ඇති බව කියන වංචාවන් හේතුවෙන් ඉදිරි කාලයේදී රට තුළ විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරනවා. ඔහු මේ බව කියා සිටියේ අද කොළඹදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. රණවක මහතා පෙන්වා දෙන්නේ පවතින දැඩි වියළි කාලගුණය නිසා විදුලිය කපා හැරීමට සිදුවන බව පවසමින් රජය සැබෑ අර්බුදය ජනතාවගෙන් වසන් කිරීමට උත්සාහ කරන බවයි
අද සිට විදුලි ගාස්තු ඉහළ නංවා ඇති අතර, මීට පෙර බලහත්කාරයෙන් සිදුකළ විදුලි ගාස්තු ඉහළ දැමීම් හරහා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 6,943ක අයථා ලාභයක් උපයාගෙන ඇති බව ඔහු සඳහන් කරනවා. එසේම ඉන්ධන ආනයනයේදී පනවන ප්‍රිමියම් ගාස්තු (Premium) අසාධාරණ ලෙස ඉහළ දමා ඇති බවත්, ඒ අනුව ඩීසල් සඳහා රුපියල් 7.95ක්ව පැවති ප්‍රිමියම් ගාස්තුව රුපියල් 88.98 දක්වාත්, පෙට්‍රල් සඳහා රුපියල් 6.98ක්ව පැවති ගාස්තුව රුපියල් 46.31ක් දක්වාත් ඉහළ දමා ඇති බව ඔහු අවධාරණය කළා
මීට අමතරව මෙරටට පැමිණීමට නියමිතව තිබූ බොරතෙල් නැව් 6න් 4ක්ම මෙරටට නොපැමිණෙන අතර, මේ වන විට මෙරට ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල මට්ටමද 50%ක් දක්වා සීඝ්‍රයෙන් පහත වැටී ඇති බව හෙළිදරව් කළා. රුසියාවෙන් මෙරටට තෙල් ලැබෙන බවට රජය පවසන කතාව ප්‍රායෝගික නොවන බවත්, මාර්තු 11 වනදා රුසියාවෙන් පිටත්වන නෞකාවක් අප්‍රේල් 12 වනදා වන විට ලංකාවට ළඟා විය නොහැකි බැවින් රුසියාවෙන් තෙල් ලැබීමක් සැබවින්ම සිදු නොවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා
















