ෆේස්බුක් (Facebook) සහ ඉන්ස්ටග්‍රෑම් (Instagram) පරිශීලකයන් රඳවා තබා ගන්නා ඇල්ගොරිතම තවදුරටත් බලගැන්වීම සඳහා Meta සමාගම විසින් ‘MRS Research’ නමැති ප්‍රභූ AI පර්යේෂණ ඒකකයක් රහසිගතව සංවිධානය කර ඇති බව අද (01) වාර්තා විය. මෙම නව ඒකකය මගින් OpenAI, Google සහ Amazon වැනි ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම්වල දක්ෂතම පර්යේෂකයන් තම කණ්ඩායමට එක්කර ගනිමින් සිටියි
මෙහි ප්‍රධානත්වය දරනු ලබන්නේ TikTok සමාගමේ හිටපු ඉහළ පෙළේ විධායක නිලධාරියෙකු වන යැං සොං (Yang Song) විසිනි. ඔහු 2025 නොවැම්බර් මාසයේදී Meta සමාගමට එක් වූයේ එහි නිර්දේශිත පද්ධති AI තාක්ෂණය මගින් විප්ලවීය වෙනසකට ලක් කිරීමේ අරමුණ ඇතිවය. මීට අමතරව Amazon හි AI පර්යේෂක ලිහොං ලී (Lihong Li), OpenAI හි ෂියාඔලොං වන්ග් (Xiaolong Wang) සහ Google හි ෆෙයි ෂා (Fei Sha) වැනි ප්‍රවීණයන් ද මෙම කණ්ඩායමට එක්ව සිටිති.
MRS Research ඒකකයේ මූලික අරමුණ වන්නේ Meta සතු ඇප් වර්ගවල ‘Home Feed’ සහ වෙළෙඳ දැන්වීම් (Ads) ප්‍රදර්ශනය වන ආකාරය AI මගින් වඩාත් කාර්යක්ෂම කිරීමයි. දීර්ඝකාලීන AI පර්යේෂණ ඉලක්ක කරගත් මෙම ඒකකය, පවතින නිර්දේශිත පද්ධති අභිබවා යමින් නවීනතම තාක්ෂණය හඳුන්වා දීමට කටයුතු කරනු ඇත. මෙය Meta සමාගමේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රය තවදුරටත් සුපිරි බලගැන්වීමක් වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














