ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා ප්‍රියංකා ගාන්ධි වාද්රා (Priyanka Gandhi Vadra) අද (01) අසාම් (Assam) ප්‍රාන්තයේ පැවති සිය ප්‍රථම මැතිවරණ රැලිය අමතමින්, එරට පාලක භාරතීය ජනතා පක්ෂය (BJP) විසින් ජනතාවගේ නිදහස සීමා කරන බවට දැඩි චෝදනාවක් එල්ල කළාය. අසාම්හි නසීරා (Nazira) ප්‍රදේශයේදී ඇය මෙම අදහස් පළ කළාය.
රජයේ සුභසාධන ක්‍රම සහ කාන්තාවන්ගේ ගිණුම්වලට මුදල් බැර කිරීමේ වැඩසටහන් දඩමීමා කරගනිමින් ජනතාව අනිවාර්යයෙන්ම අගමැති නරේන්ද්‍ර මෝඩිගේ (Narendra Modi) රැලිකලට සහ මහ ඇමතිවරයාගේ වැඩසටහන්වලට සහභාගී කරවා ගන්නා බව ඇය පෙන්වා දුන්නාය. එසේ සහභාගී නොවන්නේ නම් රජයෙන් ලැබෙන ප්‍රතිලාභ අහිමි කරන බවට බලපෑම් එල්ල වන බව ද ඇය සඳහන් කළාය.
රජයෙන් ලබාදෙන මුදල් ජනතාවගේම බදු මුදල් බවත්, එම සහන ලබාගැනීම සඳහා ජනතාවට තම ප්‍රකාශන නිදහස පාවා දීමට අවශ්‍ය නොමැති බවත් ප්‍රියංකා ගාන්ධි මෙහිදී අවධාරණය කළාය. මෙවර මැතිවරණ සටන පවතින්නේ සංස්කෘතිය සහ සෑම පුද්ගලයෙකුගේම නිදහස ආරක්ෂා කරන ප්‍රාන්තයක් ගොඩනැගීම සඳහා බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.














