2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අවසන් තරගය චීන තායිපේ කණ්ඩායම සමඟ චීන තායිපේහිදී ඊයේ (මාර්තු 31) පැවැත්වුණා. මෙම තරගයෙන් ගෝල 3ට 1ක සුපිරි ජයක් හිමිකර ගනිමින් තරගාවලිය නිමා කරන්නට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට හැකියාව ලැබීම විශේෂත්වයක්.
චීන තායිපේ කණ්ඩායම පරාජය කළ ද ශ්‍රී ලංකාවට මෙවර ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. සුදුසුකම් ලැබීමේ තරග වටයේදී ශ්‍රී ලංකාව D කාණ්ඩයේ තරග බිමට පිවිසුණු අතර එහිදී ශ්‍රී ලංකාව තරග 6කට සහභාගි වී ඉන් තරග 3ක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත් වීමත් සමඟයි මෙම තත්ත්වය උදා වූයේ.
කෙසේ වෙතත් මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව ජගත් පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල (FIFA Rankings) ස්ථාන කිහිපයක් ඉදිරියට යමින් 190 වැනි සීමාව ආසන්නයටම පැමිණීමට අපේක්ෂිතයි. තරගයට පෙර ශ්‍රී ලංකාව පසුවූයේ 194 වැනි ස්ථානයේයි.














