කටාර් රජයට අයත් ‘ඇක්වා 1’ (Aqua 1) නමැති ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් එල්ල කළ කෲස් මිසයිල ප්‍රහාරයක් පිළිබඳව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය අද (01) නිල වශයෙන් ප්‍රකාශ කළේය. මැදපෙරදිග කලාපයේ අමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන ගැටුම උත්සන්න වෙමින් පවතින පසුබිමක මෙම සිදුවීම වාර්තා වී තිබේ.
ඉරානයේ සිට කටාර් දෙසට කෲස් මිසයිල තුනක් එල්ල වී ඇති අතර, ඉන් දෙකක් සාර්ථකව නිෂ්ක්‍රීය කිරීමට ආරක්ෂක අංශ සමත්ව ඇත. තෙවන මිසයිලය ‘ඇක්වා 1’ නෞකාවේ ජල මට්ටමට ඉහළින් වැදී ඇති නමුත්, වාසනාවකට මෙන් එයින් නෞකාවට හෝ කාර්ය මණ්ඩලයට බරපතල හානියක් සිදුව නොමැති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ලොව විශාලතම ගෑස් කම්හල පිහිටි රාස් ලෆාන් (Ras Laffan) කාර්මික මධ්‍යස්ථානයට උතුරින් නාවික සැතපුම් 17ක් දුරින් පිහිටි මුහුදු ප්‍රදේශයේදීය.
ඊශ්‍රායලය විසින් ඉරානයේ ගෑස් යටිතල පහසුකම්වලට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස ඉරානය මෙලෙස ගල්ෆ් කලාපයේ තෙල් සහ ගෑස් පහසුකම් ඉලක්ක කරමින් සිටියි. පවතින යුදමය වාතාවරණය හේතුවෙන් කටාර්හි ද්‍රව ස්වාභාවික ගෑස් (LNG) අපනයන ධාරිතාවෙන් 17%ක් මේ වන විටත් අහිමි වී ඇති අතර, එය ආසියාවේ සහ යුරෝපයේ බලශක්ති සැපයුමට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතී. කිසිදු පාරිසරික බලපෑමක් මෙතෙක් වාර්තා වී නොමැති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් (UKMTO) ආයතනය තහවුරු කර ඇත.














