වකුගඩු රෝගීන් සඳහා නිවසේ සිටම රුධිර කාන්දුකරණය (Dialysis) කර ගැනීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ කට්ටලයක් මෙරටදීම නිෂ්පාදනය කිරීමේ සුවිශේෂී ව්‍යාපෘතියක් පිළිබඳව අද (01) වාර්තා විය. දිනෙන් දින ඉහළ යන වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව හමුවේ මෙය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ලැබූ විශාල ජයග්‍රහණයකි.
මහනුවර පල්ලේකැලේ ආයෝජන කලාපයේ පිහිටි ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් තුළ මෙම වෛද්‍ය උපකරණ කට්ටල නිෂ්පාදනය කෙරේ. සේවකයන් 400කට අධික පිරිසක් සේවය කරන මෙම ආයතනය තුළ රුධිර කාන්දුකරණ කට්ටලවලට අමතරව රටට අත්‍යවශ්‍ය සේලයින් සහ තවත් ඖෂධ වර්ග කිහිපයක් ද නිෂ්පාදනය කෙරේ. දේශීයව මෙම උපකරණ නිපදවීම හරහා රෝගීන්ට සිදුවන පීඩාව අවම වනවා සේම විදේශ විනිමය ඉතිරි කර ගැනීමට ද මහඟු පිටිබලයක් ලැබෙනු ඇත.














