ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට සෘජුවම දායක වන කර්මාන්ත ක්ෂේත්‍ර රැසක් මුහුණ දෙන ඉන්ධන බෙදා හැරීමේ ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පවත්වා ඇත. අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉල්ලීමකට අනුව මෙම හමුව සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී සංවිධාන කර තිබුණි.
අපනයනකරුවන් මුහුණ දෙන ඉන්ධන ලබා ගැනීමේ අපහසුතා සහ බෙදා හැරීමේ පවතින බාධාවන් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත සඳහා ප්‍රමුඛතා පදනමක් මත විශ්වාසදායී ඉන්ධන සැපයුම් යාන්ත්‍රණයක අවශ්‍යතාවය අවධාරණය කෙරිණි. විශේෂයෙන්ම ඇඟලුම්, මැණික් හා ස්වර්ණාභරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ, ඖෂධ, රබර් සහ මෘදුකාංග සේවා වැනි ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ සංගම් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී තම අදහස් ඉදිරිපත් කළහ.
සාකච්ඡාවට එක්වූ ප්‍රධාන සංගම් අතර ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය, SLASSCOM, SLAP සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය වැනි ආයතන කැපී පෙනුණි. අපනයන ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා බලශක්ති අවශ්‍යතාවය අඛණ්ඩව සපුරා ගැනීම පිළිබඳව මෙහිදී දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණ ඇත.














