අමෙරිකා එක්සත් ජනපදයෙන් ආරම්භ වී ජාත්‍යන්තර වශයෙන් පුළුල් පිළිගැනීමක් ලැබූ “Walk for Peace” හෙවත් ලෝක සාම පියවර වැඩසටහන එළඹෙන අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. අතිපූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ මහා සංඝරත්නය දොළොස් නමකගෙන් සමන්විත දූත පිරිසකගේ මෙහෙයවීමෙන් මෙම සාම චාරිකාව සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ. “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය” (මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස, සුව පිණිස, ලොවට අනුකම්පාවෙන් චාරිකාවේ හැසිරෙන්න) යන බුදු වදන තේමා කරගනිමින් මුළුමනින්ම සමාජය තුළ සාමය සහ මෙත් සිත පැතිරවීම මෙහි මූලික අරමුණ වී තිබෙනවා.
මෙම සුවිශේෂී වැඩසටහනේ සමාරම්භක උත්සවය 2026 අප්‍රේල් 21 වනදා ඓතිහාසික අනුරාධපුර පුදබිමේදී පැවැත්වීමට නියමිතයි. එදින සවස 4.00 ට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පූජනීය බෝධි ශාඛාවක් පිළිගැනීමේ උත්සවයක් පැවැත්වෙන අතර, සවස 5.00 ට ඓතිහාසික රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේදී විශේෂ ආගමික වතාවත් සිදු කෙරෙනවා. ඉන් අනතුරුව මෙම සාම පියවර චාරිකාව ඓතිහාසික දඹුලු රජමහා විහාරයෙන් ආරම්භ වී මහනුවර දෙසට ගමන් කිරීමට නියමිතයි. මහනුවරට ළඟා වන මහා සංඝරත්නය මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහා නායක ස්වාමීන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රී දලදා මාලිගාව වැඳපුදා ගැනීමටද සැලසුම් කර තිබෙනවා.
මෙම මුළු ගමන පුරාවටම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පූජනීය බෝධි ශාඛාව සමඟින් නිලගිරි චේතිය, හඟුරන්කෙත මඩන්වල රජමහා විහාරය, මහියංගණ රජමහා විහාරය සහ හුනුපිටිය ගංගාරාමය යන පුණ්‍ය භූමිවලින් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලාද පෙරහරකින් වැඩම කරවීමට නියමිතයි. දින හතක මෙම සාම චාරිකාව අප්‍රේල් 28 වනදා කොළඹ නිදහස් චතුරස්‍රයෙන් අවසන් වන අතර, පසුව එම පූජනීය ධාතූන් වහන්සේලා සහ බෝධි ශාඛාව පෙරහරකින් හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවනු ඇත.
මෙම දැවැන්ත පුණ්‍යකර්මයේ ශ්‍රී ලාංකීය සම්බන්ධීකරණ කටයුතු පූජ්‍ය මෙල්පිටියේ විමලකීර්ති ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලබන අතර, රජයේ “පිරිසිදු ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන මෙහි ප්‍රධාන රාජ්‍ය සහකරු ලෙස කටයුතු කරනවා. මීට අමතරව ජාතික සැලසුම් මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව සහ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක් මේ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙනවා.
මෙම වැඩසටහන නිමාවෙමින් අප්‍රේල් 28 වැනිදා කොළඹ නිදහස් චතුරස්‍රයේදී විශේෂ රාජ්‍ය උත්සවයක් පැවැත්වෙන අතර, අප්‍රේල් 28 සහ 29 යන දිනවලදී ගංගාරාම පරිශ්‍රයේදී ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය සහ සාම්ප්‍රදායික අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයක්ද ජාතික සැලසුම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබෙනවා. එහිදී පිත්තල නිර්මාණ, ලාක්ෂා නිර්මාණ, මැටි කර්මාන්ත, තල් කොළ ආශ්‍රිත නිර්මාණ මෙන්ම දුම්බර රටා රෙදි පිළි සහ සාම්ප්‍රදායික සිතුවම් ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. මෙම සියලු සංස්කෘතික වැඩසටහන්වල අවසන් ප්‍රධානතම අරමුණ වන්නේ අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඉදිවන, ත්‍රිපිටකය භාෂා 10 කින් ලියා තැන්පත් කෙරෙන ස්තූප 840 කින් සමන්විත බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානය වෙනුවෙන් ශ්‍රී ලාංකීය බෞද්ධ සහ සංස්කෘතික උරුමයන් දායක කිරීමයි.

















