ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සමඟ පවතින සාකච්ඡා මධ්‍යයේ, කියුබානු රජය එරට බන්ධනාගාරවල සිටින සිරකරුවන් 2,010 දෙනෙකුට නිදහස ලබා දීමට තීරණය කර තිබේ. මෙය කියුබානු රජය විසින් මේ වසර තුළ සිරකරුවන්ට පොදු සමාවක් ලබා දුන් දෙවන අවස්ථාව වන අතර, කියුබානු ‘ග්‍රැන්මා’ (Granma) පුවත්පත මෙය හඳුන්වා දී ඇත්තේ “මානුෂීය සහ ස්වෛරී පියවරක්” ලෙසයි.
නිදහස ලබන සිරකරුවන් තෝරාගැනීමේදී ඔවුන් සිදුකළ වැරදිවල ස්වභාවය, බන්ධනාගාරය තුළ ඔවුන්ගේ යහපත් හැසිරීම, දඬුවම් කාලයෙන් සැලකිය යුතු කොටසක් ගෙවා තිබීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යන කරුණු කෙරෙහි අවධානය යොමු කර ඇත. කියුබාව පවසන්නේ තමන් කිසිදු විදේශීය බලපෑමක් මත තීරණ නොගන්නා බව වුවද, ඇමරිකාව එරටට එල්ල කරන දැඩි ආර්ථික හා දේශපාලන පීඩනය හමුවේ මෙම තීරණය ගැනීම විශේෂත්වයකි.
කියුබාවේ බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩනැගීම සඳහා සහාය වන ලෙස එරට රාජ්‍ය තාන්ත්‍රිකයින් වොෂින්ටනයෙන් ඉල්ලා දිනකට පසු මෙම නිවේදනය නිකුත් විය. කෙසේ වෙතත්, මෙම සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

















