ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත ජීවිතය පූජා කර මළවුන්ගෙන් උත්ථානය වීම සිහිපත් කරනු ලබන පාස්කු ඉරිදා දිනය අදට (අප්‍රේල් 5) යෙදී තිබෙනවා. මෙම සුවිශේෂී දිනය නිමිත්තෙන් දිවයිනේ සියලුම කිතුනු දෙව්මැදුරුවල විශේෂ පාස්කු දේව මෙහෙයන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර 2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් අවාසනාවන්ත ලෙස විපතට පත් වූ බැතිමතුන් ඇතුළු සියලු දෙනා සිහිපත් කරමින් මඩකළපුව සියොන් දෙව්මැදුර, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර සහ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේදී හෙට දිනයේ විශේෂ යැදුම් පැවැත්වීමට කතෝලික සභාව තීරණය කර තිබෙනවා. වර්තමානයේ පවතින මැදපෙරදිග යුද ගැටුම් කඩිනමින් සමථයකට පත්වීම ප්‍රාර්ථනා කිරීමත්, මිනිස් සිත්වලින් වෛරය සහ ක්‍රෝධය දුරු වී ලෝකය පුරා සාමය තහවුරු වීම ප්‍රාර්ථනා කිරීමත් මෙම මෙහෙයන්හි ප්‍රධාන අරමුණක් වී තිබෙනවා. ඊයේ දිනයට යෙදී තිබූ මහ සිකුරාදා දිනයේදීද බොහෝ දෙව්මැදුරුවල පාද නමස්කාර සහ කුරුස සිපාචාර වත්පිළිවෙත් පැවැත්වුණු අතර මීගමුව දූව, මග්ගොන සහ හිනිදුම වැනි ප්‍රසිද්ධ වන්දනා ස්ථාන රැසකද විශේෂ පාස්කු වැඩසටහන් පවත්වා තිබුණා.














