අද (06) පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම පස්වරු 2:00න් පමණ පසු මෙම තත්ත්වය වර්ධනය විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුර, වයඹ සහ උතුරු-මැද යන පළාත්වලත්, ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මෙම වැසි සහ අකුණු බලපෑ හැකිය. පවතින දැඩි වියළි කාලගුණය මධ්‍යයේ වුවද, මෙම වැසි තත්ත්වය සමඟ ඇති විය හැකි අකුණු අනතුරු පිළිබඳව දැඩි සැලකිල්ලකින් පසුවන ලෙස ජනතාවට උපදෙස් දෙනු ලැබේ.
විශේෂයෙන් අකුණු පවතින අවස්ථාවලදී එළිමහනේ රැඳී සිටීමෙන් වැළකී ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත්, විදුලි උපකරණ භාවිතයේදී වඩාත් ප්‍රවේශම් වන ලෙසත් කාලගුණ බලධාරීන් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.














