ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමට අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරියගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (06) නියෝග කළේය. කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකාරිය සතු බැංකු ගිණුම් කිහිපයක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශනය කිරීමට අවසර අවශ්‍ය බවයි.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිටි අතර, එක් සැකකාරියක් කොළඹ අපරාධ කොට්ඨාසයේත්, අනෙක් සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව විමර්ශන නිලධාරීහු ප්‍රකාශ කළහ. 15 වන සැකකාරිය සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව මහේස්ත්‍රාත්වරයා මෙහිදී විමසා සිටි අතර, ඇයගේ දෙවන දින 90ක රැඳවුම් කාලය මේ වන විට ක්‍රියාත්මක බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකාරිය සහ ඇයගේ බැංකු ගිණුම් හරහා සිදුව ඇති මූල්‍ය ගනුදෙනු පිළිබඳව විමර්ශන කටයුතු කඩිනම් කර අදාළ වාර්තාව ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට වැඩිදුරටත් නියෝග කළේය.














