ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දිනේෂ් නිශාන්ත කුමාර හෙවත් “ගම්පහ බබා” ඇතුළු සැකකරුවන් පිරිසක් ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (06) නියෝග කළේය. සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
සැකකරු නීතිවිරෝධී ලෙස රටින් පළා යාමට පෙර ඔහුට එරෙහිව වෙනත් වැරදි සම්බන්ධයෙන් නඩු ගොනු කර තිබේද යන්න පිළිබඳව විමර්ශනය කර පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශයට නියෝග කළේය. සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම පිළිබඳ තීරණය එම වාර්තාව සලකා බැලීමෙන් අනතුරුව ලබා දීමට නියමිතය.
මන්නාරම වෙරළ හරහා බෝට්ටුවකින් ඉන්දියාවට ගොස්, එතැනින් නේපාලයට පළා ගොස් සිටියදී ජාත්‍යන්තර පොලිසිය (Interpol) සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට පත් විය. ගම්පහ බබාට අමතරව බැකෝ සමන්, නුගේගොඩ බබී සහ කෙසෙල් බද්දර පද්මේ යන ප්‍රබල පාතාල සාමාජිකයන්ට ද නීතිවිරෝධී ලෙස මෙරටින් පළා යාම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇති බව විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.














