වෙනත් පුද්ගලයින්ගේ බැංකු කාඩ්පත් දත්ත තාක්ෂණික ක්‍රම මගින් සොරාගෙන අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගත් බව කියන සිද්ධියට අදාළව ඇප මත සිටි තරුණයෙකු ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (06) නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ ඔහුට පනවා තිබූ ඇප කොන්දේසි රැසක් මොහු විසින් උල්ලංඝනය කර ඇති බවයි.
විදේශ ගමන් තහනමක් පනවා තිබියදී හොර රහසේ විදේශගත වී යළි පැමිණීම, තහනම් කරන ලද සිම්පත් සහ නව ජංගම දුරකථන භාවිත කරමින් අදාළ ගිණුම් වෙත යළි ප්‍රවේශ වීමට උත්සාහ කිරීම සහ නඩු භාණ්ඩ ලෙස පවතින දුරකථනවල මුරපද ලබා දීම ප්‍රතික්ෂේප කිරීම යන කරුණු විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. මෙම වංචාව ආරම්භ කරන සමයේ සැකකරු පාසල් වියේ පසුවූ අයෙකු බව ද මෙහිදී අනාවරණය වූ අතර සැකකරුගේ නව දුරකථන සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට ඇති බැවින් මහේස්ත්‍රාත්වරයා මෙම රඳවා තැබීමේ නියෝගය නිකුත් කළේය.













