ඇමරිකානු සම්බාධක පනවා ඇති සිය දියර ස්වභාවික වායු (LNG) ව්‍යාපෘතිවලින් ලබාගන්නා වායු නැව්ගත කිරීම් සඳහා ආසියානු රටවලට 40%ක සුවිශේෂී මිල සහනයක් ලබා දීමට රුසියාව පියවර ගෙන ඇති බව බ්ලූම්බර්ග් පුවත් සේවය (Bloomberg News) වාර්තා කරයි. පවතින ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ දකුණු ආසියානු රටවල් සිය නිෂ්පාදන මිලදී ගැනීමට පොළඹවා ගැනීම රුසියාවේ අරමුණ වී තිබේ.
විශේෂයෙන්ම මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ ස්වභාවික වායු මිල ඉහළ ගොස් ඇති මොහොතක, රුසියාවේ සහ චීනයේ පිහිටි අතරමැදි සමාගම් හරහා මෙම සහනදායී මිල ගණන් ඉදිරිපත් කර ඇති බව එම වාර්තාවේ දැක්වේ. යුරෝපා සංගමය රුසියානු වායු ආනයනය තහනම් කිරීමට පියවර ගනිමින් සිටීමත් සමඟ රුසියාව සිය අවධානය ආසියානු කලාපය වෙත මෙලෙස දැඩිව යොමු කර ඇත.














