ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය සාර්ථකව නිමා කරමින්, ඊට අදාළ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමට අද (09) අත්සන් කිරීමට නියමිතය. මෙරටට පැමිණ සිටින මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද අද පවත්වනු ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී තහවුරු කළේ, මෙම සමාලෝචන ක්‍රියාවලිය සාර්ථක වී ඇති බැවින් අද දින අදාළ ගිවිසුම්වලට එළඹීමට හැකිවනු ඇති බවයි. පසුගිය මාර්තු 26 වැනිදා දිවයිනට පැමිණි මූල්‍ය අරමුදලේ දූත පිරිස මෙරට මූල්‍ය විනය, බදු ප්‍රතිපත්ති සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳව ගැඹුරු තක්සේරුවක නිරත විය.
මෙම මාණ්ඩලික මට්ටමේ එකඟතාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් අනතුරුව, විස්තීර්ණ ණය පහසුකම යටතේ මෙරටට හිමිවීමට නියමිත මීළඟ ණය වාරිකය මුදා හැරීමට අවස්ථාව සැලසේ. මෙය ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














