කැනඩාවේ ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු ලෙස රැඳී සිටිමින් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කළ මුහම්මද් ෂාසෙබ් ඛාන් (Muhammad Shahzeb Khan) නමැති 21 හැවිරිදි පාකිස්ථාන ජාතිකයා, අමෙරිකානු අධිකරණයක් හමුවේ සිය වරද පිළිගෙන තිබේ. 9/11 ප්‍රහාරයෙන් පසු අමෙරිකානු භූමිය තුළ සිදුවන විශාලතම ප්‍රහාරය මෙය වනු ඇතැයි ඔහු පවසා තිබූ බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ඊයේ (අප්‍රේල් 08) ප්‍රකාශ කළේය.
ෂාසෙබ් ජාදූන් (Shahzeb Jadoon) ලෙසද හඳුන්වන මොහු, නිව්යෝර්ක් හි බෲක්ලින් ප්‍රදේශයේ පිහිටි යුදෙව් මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් ස්වයංක්‍රීය ගිනි අවි මඟින් මෙම සමූහ වෙඩි තැබීම සැලසුම් කර ඇත. 2023 ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයේ සංවත්සරය දින මෙරටට නීති විරෝධී ලෙස ඇතුළු වී මෙය සිදු කිරීමට ඔහු බලාපොරොත්තු වී තිබේ. මීට අමතරව, ඔහු ඉන්දියාව තුළ ද සම්බන්ධීකරණය කරන ලද ප්‍රහාරයන් පිළිබඳව සාකච්ඡා කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.
2024 සැප්තැම්බර් මාසයේදී කැනඩාවේ ක්විබෙක් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මොහු පසුව අමෙරිකාවට භාර දෙන ලදී. මොහු ISIS ත්‍රස්ත කණ්ඩායමේ මතවාදයන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇති අතර, ඔහුගේ ප්‍රහාරක සැලසුම පිළිබඳව අමෙරිකානු FBI රහස් පරීක්ෂකයන් විසින් රහසිගතව තොරතුරු රැස් කර තිබුණි. මෙම වරදකරුට එරෙහි දඬුවම් නියම කිරීම එළඹෙන අගෝස්තු 12 වනදා සිදු කිරීමට නියමිතය.














