බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ. නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා බාල ප්‍රමිතියෙන් යුත් ගල්අඟුරු ආනයනය කිරීම සහ ප්‍රමාණවත් පරිදි උසස් තත්ත්වයේ ගල්අඟුරු තොග පවත්වාගෙන යාමට අපොහොසත් වීම හරහා අමාත්‍යවරයා සිය වගකීම් පැහැර හැර ඇති බවට විපක්ෂය චෝදනා කරයි.
පසුගිය මාර්තු 18 වනදා භාරදෙන ලද මෙම යෝජනාව මගින් පෙන්වා දී ඇත්තේ අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් රටේ බලශක්ති සුරක්ෂිතතාවයට මෙන්ම රාජ්‍ය මූල්‍යයට ද දැඩි හානියක් සිදුව ඇති බවයි. විශේෂයෙන්ම ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් මීට පෙර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) ද දැඩි උණුසුම් සංවාදයක් ඇති වූ අතර, අමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉවත් වන ලෙසට විපක්ෂ කණ්ඩායම් බලකර සිටියි.
මෙම විවාදය වර්තමාන රජය මුහුණ දෙන ප්‍රධාන දේශපාලන අභියෝගයක් බවට පත්ව ඇත්තේ, අමාත්‍යවරයා මීට පෙර පොහොර සංස්ථාවේ විධායක තනතුරක් දැරූ සමයේ සිදු වූ ගනුදෙනු සම්බන්ධයෙන් ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අවධානය යොමු වී ඇති පසුබිමකයි. අද දිනය පුරා පැවැත්වෙන මෙම විවාදයෙන් අනතුරුව යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට ද නියමිතව ඇත.














