ඇමරිකාවේ ප්‍රධාන පෙළේ බැංකු විසින් පුද්ගලික ණය ලබාදෙන සමාගම් (Private Credit Firms) සමඟ පවත්වාගෙන යනු ලබන මූල්‍ය ගනුදෙනු සහ ඒවායේ අවදානම පිළිබඳව ඇමරිකානු මහා බැංකුව (Fed) විමර්ශනයක් ආරම්භ කර ඇති බව බ්ලූම්බර්ග් (Bloomberg) පුවත් සේවය වාර්තා කරයි. පුද්ගලික ණය අංශයේ පවතින ආතතිය සමස්ත මූල්‍ය පද්ධතිය වෙත පැතිර යාමේ හැකියාවක් පවතින්නේ ද යන්න හඳුනා ගැනීම මෙහි අරමුණයි.
පසුගිය මාස කිහිපය තුළ පුද්ගලික ණය අරමුදල්වලින් මුදල් ආපසු ලබාගැනීමේ ඉල්ලීම් (Redemptions) ඉහළ යාම සහ අය නොවන ණය ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. ඩොලර් ට්‍රිලියන 2ක් පමණ වන මෙම බැංකු නොවන ණය ලබාදීමේ අංශය මගින් සමස්ත ණය වෙළඳපොළට එල්ල විය හැකි බලපෑම පිළිබඳව ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ද සිය අවධානය යොමු කර ඇත.
මහා බැංකු සභාපති ජෙරොම් පවෙල් මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ මෙම අංශයේ වර්ධනයන් පිළිබඳව අවධානයෙන් සිටින නමුත් එය මූල්‍ය පද්ධතියට බරපතල තර්ජනයක් වනු ඇතැයි දැනට විශ්වාස නොකරන බවයි. කෙසේ වෙතත්, ප්‍රධාන පෙළේ බැංකු කිහිපයක් දැනටමත් සිය ණය ලබාදීමේ කොන්දේසි දැඩි කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.














