ට්‍රම්ප් මාධ්‍ය සහ තාක්ෂණ සමූහයේ (Trump Media & Technology Group) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ එරික් ස්විඩර් (Eric Swider) සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව එම සමාගම ඊයේ (10) නිවේදනය කළේය. මොහු 2024 වසරේදී ට්‍රම්ප්ගේ ‘ටෲත් සෝෂල්’ (Truth Social) ප්ලැට්ෆෝමය කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කිරීමට මූලිකත්වය ගත් ප්‍රධාන චරිතයකි.
මෙම ඉල්ලා අස්වීම සමාගමේ කළමනාකාරීත්වය සමඟ ඇති වූ කිසිදු මතභේදයක් මත සිදු වූවක් නොවන බව ට්‍රම්ප් මාධ්‍ය සමාගම අවධාරණය කර ඇත. එරික් ස්විඩර් මීට පෙර ‘Digital World Acquisition Corp’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින්, විවිධ නීතිමය සහ නියාමන බාධක මධ්‍යයේ ට්‍රම්ප්ගේ සමාගම කොටස් වෙළඳපොළ වෙත රැගෙන ඒමට විශාල දායකත්වයක් ලබා දුන්නේය.
ටෲත් සෝෂල් ප්ලැට්ෆෝමය මේ වන විට අනෙකුත් ප්‍රබල සමාජ මාධ්‍ය ජාල සමඟ දැඩි තරඟයක නිරතව සිටින අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දේශපාලන සහ යුදමය තීරණ දැනුම් දීම සඳහා ප්‍රධාන වශයෙන් මෙම මාධ්‍යය භාවිතා කරයි. විශේෂයෙන්ම මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ ඉරානයට එරෙහිව සිදු කළ ප්‍රහාර පිළිබඳව ද ඔහු මුලින්ම අනාවරණය කළේ මෙම ප්ලැට්ෆෝමය හරහාය.














