ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කරමින් සමාගම් 6කට බෙදා වෙන් කිරීමේ ක්‍රියාවලිය යටතේ, ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගත් 2,000කට ආසන්න සේවක පිරිසකට මෙතෙක් පොරොන්දු වූ වන්දි මුදල් ගෙවා නොමැති බව වාර්තා වේ. පසුගිය මාර්තු 09 වැනිදා සේවයෙන් ඉවත් වූ මෙම පිරිසට රුපියල් ලක්ෂ 50ක උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබාදෙන බවට රජය සහතික වී තිබුණද, මාසයකට වැඩි කාලයක් ගතවී ඇතත් එම පොරොන්දු ඉටු වී නොමැත.
වන්දි මුදල් පමණක් නොව, සේවක අර්ථසාධක අරමුදල (EPF), සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF) සහ පාරිතෝෂික දීමනා පවා නිදහස් කර ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බව විශ්‍රාමික සේවක එකමුතුව චෝදනා කරයි. සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය එළැඹ තිබියදීත් සිය නීත්‍යානුකූල දීමනා නොලැබීම හේතුවෙන් තමන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බවත්, මෙය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් පවසමින් ඔවුන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැමිණිලි කර ඇත.
මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය මුහම්මදු ඉල්යාස් මුහම්මදු අර්කම් මහතා දැනුවත් කිරීමට සේවකයින් පියවර ගෙන තිබේ. අදාළ මුදල් බැංකුගත කිරීමට නිලධාරීන් කටයුතු කරමින් සිටින බවට නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇතත්, තවමත් සේවකයින්ට එම මුදල් ලැබී නොමැත. වසර ගණනාවක් විදුලිබල මණ්ඩලය වෙනුවෙන් කැප කළ සේවයට හිමිවිය යුතු මූල්‍ය සුරක්ෂිතතාව මෙලෙස අහිමි කිරීම පිළිබඳව විශ්‍රාමික සේවකයින් සිය දැඩි විරෝධය පළ කර සිටියි.














