දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (14) පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී. මීට අමතරව මධ්‍යම, සබරගමුව, ඌව පළාත් සහ ගාල්ල, මාතර, වවුනියාව යන දිස්ත්‍රික්කවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින්, ඉන් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි. දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී, අප්‍රේල් 5 සිට 15 දක්වා කාලය තුළ හිරු ලංකාවට සෘජුවම ඉහළින් පවතින අතර අද දහවල් 12:10 ට නාවලඩි, පරන්තන්, මුරසුමෝඩෙයි ඇතුළු ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වීමට නියමිතය.














