බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකල් කුමරිය සිව්දින නිල සංචාරයක් සඳහා අද (අප්‍රේල් 14) ඕස්ට්‍රේලියාවට පැමිණියහ. ක්‍රීඩා, මානසික සෞඛ්‍ය සහ හමුදා ප්‍රවීණයන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් වෙන් වූ වැඩසටහන් කිහිපයකට ඔවුන් මෙහිදී සහභාගී වීමට නියමිතය.
මෙම සංචාරය ආරම්භ කරමින් ඔවුන් මෙල්බර්න් නුවර රාජකීය ළමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, අනතුරුව මේගන් කුමරිය ගෘහස්ථ හිංසනයට ලක්වූ කාන්තාවන් වෙනුවෙන් වෙන් වූ මධ්‍යස්ථානයක සංචාරය කිරීමට ද සැලසුම් කර තිබේ. හෙට (බදාදා) ඔවුන් කැන්බරා නුවරදී හමුදා ප්‍රවීණයන් හමුවීමට නියමිත අතර, බ්‍රහස්පතින්දා මානසික සෞඛ්‍ය සමුළුවකට සහ සිකුරාදා සිඩ්නි නුවර පැවැත්වෙන රග්බි සහ රුවල් යාත්‍රා ඉසව්වලට සහභාගී වෙමින් සංචාරය නිම කිරීමට නියමිතය.
බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ නිල රාජකාරිවලින් ඉවත් වී ඇමෙරිකාවේ පදිංචියට යාමෙන් පසු ඔවුන් ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි. ඔවුන් අවසන් වරට 2018 වසරේදී ඕස්ට්‍රේලියාවේ සංචාරය කළ අතර, එහිදී ඔවුන්ගේ පළමු දරු උපත පිළිබඳ පණිවිඩය ද ප්‍රකාශයට පත් කරන ලදී.














