ශ්‍රී ලංකාවේ සංචාරක සත්කාරක ක්ෂේත්‍රය තුළ තිරසාර ගමනාගමන විසඳුම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් Radisson Hotels Sri Lanka සහ Evolution Auto ආයතනය විශේෂ සහයෝගිතාවකට එළඹ තිබේ. මේ යටතේ කොළඹ, ගාල්ල සහ මහනුවර යන ප්‍රධාන නගරවල පිහිටි Radisson හෝටල් පරිශ්‍රයන්හි දෛනික මෙහෙයුම් සඳහා විශේෂයෙන් සැලසුම් කරන ලද විද්‍යුත් වාහන (EV) රථ පෙළක් හඳුන්වා දී ඇත.
මෙම රථ පෙළ King Long සහ KYC යන සන්නාමවල විද්‍යුත් වෑන් රථවලින් සමන්විත වන අතර, ඒවා දැනටමත් හෝටල් සේවක ප්‍රවාහනය, භාණ්ඩ සැපයුම් සහ අභ්‍යන්තර මෙහෙයුම් කටයුතු සඳහා සක්‍රීයව යොදා ගැනේ. මෙය හුදෙක් පරිසර හිතකාමී පියවරක් පමණක් නොව, මෙහෙයුම් පිරිවැය අවම කරන සහ කාර්යක්ෂමතාව ඉහළ නංවන ප්‍රායෝගික ව්‍යාපාරික උපායමාර්ගයක් බව ද දෙපාර්ශවය පෙන්වා දෙයි.
Evolution Auto හි වාණිජ වාහන අංශයේ අලෙවිකරණ ප්‍රධානී ඩිවාන් විජේරත්න මහතා ප්‍රකාශ කළේ, මෙම සහයෝගීතාව හරහා සැබෑ ලෝකයේ වාණිජ අවශ්‍යතා සපුරාලන විද්‍යුත් ගමනාගමන විසඳුම් සැපයීමට හැකි වී ඇති බවයි. මෙම ව්‍යාපෘතිය මගින් විද්‍යුත් වාහන වාණිජමය වශයෙන් භාවිත කිරීමේ පවතින විශ්වාසනීයත්වය මෙන්ම පිරිවැය සහ පාරිසරික වාසි ද මනාව තහවුරු කෙරේ.
පරිසර, සමාජ සහ පාලන (ESG) අරමුණු ජය ගැනීම සඳහා Radisson හෝටල් සමූහය ගත් මෙම තීරණය ශ්‍රී ලංකාවේ සත්කාරක ක්ෂේත්‍රයට නව ආදර්ශයක් සපයන අතර, එමගින් පාරිභෝගික අත්දැකීම් ද ඉහළ නැංවීමට අපේක්ෂිතය.














