ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ලියෝ XIV පාප් වහන්සේ (Pope Leo XIV) අතර පවතින මතභේදාත්මක වාතාවරණය හමුවේ, ඉරානය පාප් වහන්සේ වෙත සිය සහයෝගය පළ කර තිබේ. ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් (Mohammad Bagher Ghalibaf) සමාජ මාධ්‍ය සටහනක් තබමින් පාප් වහන්සේගේ “බිය නොවන” (No fear) ස්ථාවරය අගය කර ඇති අතර, අහිංසකයන් ඝාතනය කිරීමට එරෙහිව හඬ නැගීම පිළිබඳව උන්වහන්සේට ස්තූතිය ද පුද කර ඇත.
පවතින ඇමෙරිකා – ඉරාන යුදමය වාතාවරණය මධ්‍යයේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පාප් වහන්සේ විවේචනය කරමින් ආරම්භ කළ මෙම වාග් සංග්‍රාමය ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබේ. විශේෂයෙන්ම ඇමෙරිකානු සම්භවයක් සහිත පාප් වහන්සේ නමක වන ලියෝ XIV පාප් වහන්සේ, ඇමෙරිකාවේ සහ ඉරානයේ ක්‍රියාවන් විවේචනය කරමින් සිදු කළ ප්‍රකාශයන් මෙලෙස ඉරාන නායකත්වයේ පැසසුමට ලක්ව ඇත.
මෙම ගැටුම හේතුවෙන් ජනාධිපති ට්‍රම්ප් වෙත විවිධ පාර්ශ්වයන්ගෙන් විවේචන එල්ල වෙමින් පවතින අතර, පාප් වහන්සේගේ ස්ථාවරය ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට ආදර්ශයක් බව ඉරාන කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.














