වෙනිසියුලාවේ ඔරිනොකෝ (Orinoco) තෙල් කලාපයේ මෙහෙයුම් පුළුල් කිරීම සඳහා අමෙරිකානු බලශක්ති දැවැන්තයෙකු වන Chevron සමාගම සහ වෙනිසියුලානු රජය අතර තීරණාත්මක ගිවිසුම් දෙකක් ඊයේ (13) අත්සන් කරන ලදී. වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට පත්වීමෙන් පසු එරට බලශක්ති ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අමෙරිකාව දියත් කළ ඩොලර් බිලියන 100 ක ප්‍රතිසංස්කරණ සැලැස්මෙන් පසුව සිදුවූ ප්‍රධානතම ආයෝජනය මෙය ලෙස සැලකේ.
මෙම නව ගිවිසුම් යටතේ Chevron සමාගම වෙනිසියුලාවේ රාජ්‍ය තෙල් සමාගම වන PDVSA සමඟ පවතින ‘Petroindependencia’ හවුල් ව්‍යාපාරයේ සිය කොටස් ප්‍රතිශතය 35.8% සිට 49% දක්වා ඉහළ නංවා ගැනීමට සමත්ව තිබේ. එසේම, වත්කම් හුවමාරු කිරීමේ (Asset Swap) පදනම මත ලෝරන් (Loran) නමැති ස්වභාවික වායු නිධිය සහ තවත් කුඩා තෙල් ව්‍යාපෘතියක් රජයට පවරා දී, ඒ වෙනුවට ඔරිනොකෝ කලාපයේම පිහිටි ‘Ayacucho 8’ නමැති දැවැන්ත බොරතෙල් නිධිය සිය මෙහෙයුම් සඳහා එක්කර ගැනීමට Chevron සමාගම කටයුතු කර ඇත.
මේ වන විට වෙනිසියුලාවේ සමස්ත තෙල් නිෂ්පාදනයෙන් හතරෙන් පංගුවක් (දිනකට බැරල් 260,000 ක්) නිපදවනු ලබන්නේ Chevron සමාගම සහ PDVSA අතර පවතින හවුල් ව්‍යාපාර මගිනි. ඉදිරි වසර දෙක තුළ මෙම නිෂ්පාදනය 50% කින් පමණ ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව සමාගම් විධායක නිලධාරීහු පවසති. මෙමඟින් වෙනිසියුලාවට අවශ්‍ය ආදායම් මාර්ග සුරක්ෂිත කර ගැනීමටත්, ජනතාවට අවශ්‍ය ආර්ථික ප්‍රතිලාභ ලබාදීමටත් හැකි වනු ඇති බව වෙනිසියුලානු අන්තර්කාලීන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස් ප්‍රකාශ කළාය.
මේ අතර, Shell සමාගම ද වෙනිසියුලාවේ ස්වභාවික වායු නිධි සංවර්ධනය සඳහා ඉදිරි දින කිහිපය තුළ වෙනම ගිවිසුමකට එළඹීමට නියමිත බව වාර්තා වේ.














