ජපානයේ ආහාර පාන සහ ආපනශාලා ක්ෂේත්‍රය (Food Services) සඳහා අලුතින් විදේශීය සේවකයින් බඳවා ගැනීම අප්‍රේල් 13 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවතා දමා තිබේ. ජපානයේ ‘Specified Skilled Worker’ වැඩසටහන යටතේ මෙම ක්ෂේත්‍රය සඳහා වෙන් කර තිබූ සේවක කෝටාව (50,000ක සීමාව) මේ වන විට සම්පූර්ණ වෙමින් පැවතීම මෙම තීරණයට හේතුවී ඇත. පසුගිය පෙබරවාරි අග වන විට සේවකයින් 46,000ක් පමණ බඳවාගෙන තිබූ අතර, ලබන මාසය වන විට එම සීමාව ඉක්මවා යනු ඇතැයි බලධාරීන් අනාවැකි පළ කරයි. මෙම හදිසි අත්හිටුවීම හේතුවෙන් ජපානයේ ආපනශාලා හිමියන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින අතර, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යාපාර පවත්වාගෙන යාම තවදුරටත් අසීරු වනු ඇති බවට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අනතුරු අඟවයි.














