ජාතික සංවර්ධන බැංකුවේ (NDB) මෑතකදී අනාවරණය වූ රුපියල් බිලියන 13කට අධික දැවැන්ත මූල්‍ය වංචාව, තවත් වාණිජ බැංකු 5ත් 7ත් අතර ප්‍රමාණයකට සහ බැංකු නොවන මූල්‍ය ආයතන 4ත් 9ත් අතර ප්‍රමාණයකට ව්‍යාප්ත වී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණ භූමිකාව අසාර්ථක වීම සහ වගකීම් විරහිතභාවය මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බව ඔහු චෝදනා කරයි.
මෙම වංචාව සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඔහු පෙන්වා දුන්නේ කිසිදු පරීක්ෂාවකින් තොරව රුපියල් බිලියන 12.8ක මුදලක් මෙරටින් බැහැරට ගොස් තිබියදී මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අංශයට එය හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවයි. මුලින් රුපියල් මිලියන 300ක වංචාවක් ලෙස වාර්තා වූ මෙම සිදුවීම දින කිහිපයක් තුළ රුපියල් බිලියන 13ක් දක්වා වර්ධනය වීම බරපතල තත්ත්වයක් බව ඔහු අවධාරණය කළේය.
එමෙන්ම මහ බැංකුව විසින් සේවක අර්ථසාධක අරමුදල (EPF) පාලනය කරමින්, මෙවැනි දුර්වල පාලනයක් සහිත NDB බැංකුවේම ආයෝජනය කිරීමේ පරස්පර විරෝධී ස්වභාවය ද හිටපු අමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්න කළේය. මහ බැංකුව පවසන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ක්‍රියාත්මක වන බවත්, බැංකුවේ තැන්පත්කරුවන්ට හෝ පාරිභෝගික ගිණුම්වලට මෙයින් බලපෑමක් නොවන බවත්ය. කෙසේ වෙතත්, මෙම ක්‍රමවේදමය අසාර්ථකත්වය මෙරට සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් බව රවී කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
















